රට තුල ඇති හදිසි තත්වය හමුවේ සනත්,මහේල ,සංගා ගෙන් විශේෂ ප්‍රකාශයක්

979

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචන්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇති වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩි දුරටත් පවසන්නේ “ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින ප්‍රචන්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් කලකිරීමක් සහ පිළිකුලක් ඇතිවෙනවා. මා මෙය සම්පූර්ණයෙන්ම හෙළා දකින අතරම, මෙයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරනවා. එසේම මම ශ්‍රී ලංකා ජනතාවගෙන් මෙවන් අවස්ථාවල බුද්ධිමත්ව සහ එකාවන්ව සමගියෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ කිසිවෙකුත් ආගම හා ජාතිය හේතුවෙන් ගැටලුවකට පත්විය නොහැකි බවත් ශ්‍රී ලංකාව එක් රටක් හා එක් ජාතියක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

මේ වන විට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.ආරදය, විශ්වාසය හා බාර ගැනීම ශ්‍රී ලංකාවේ පොදු භාවිතය විය යුතු බවත් ඔහු පවසයි. ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට අවස්ථාවක් නොමැති බවත් එය නවත්වා එකා ලෙස ශක්තිමත්ව සිට ගන්නා ලෙසත් සංගා වැඩිදුරටත් සඳහන් කරයි.

වර්තමානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හෙළා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසයි. වර්තමානයේ ඇතිව තිබෙන නොස්සුන්කාරී තත්ත්වය පිළිබඳව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම ආගම, ජාතිය පිළිබඳව නොසලකමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් තමන් අවුරුදු 25ක් යුද්ධයක් පැවැති කාලසීමාවකදී හැදී වැඩුණ බවත් නව පරම්පරාවට එවැනි තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය නොවන බවත් මහේල වැඩිදුරටත් පවසයි.