ලෝකය ලස්සන කරන්නේ මෙවැනි මිනිසුන්ය.එහෙත් අහේතුවකට මේ වගේ අය අතිශයින්ම විරලය.

541

රුපියල් – ශත සොයා මැදපෙරදිග රැකියාවට යන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් බොහෝ විට ආපසු ලංකාවට ආවේ යන කොට රැගෙන ගිය සිහින බොඳ කරගෙනය.එක්කෝ ලෙඩ දුක්වලට මැදිව ඔත්පළ වීමෙනි. එසේත් නැති නම් හාම්පුතුන්ගේ මහත් වද හිංසාවලට ලක්ව රෝගාතුර වීමෙනි. තවත් අයෙක් ආවේ දිගට තිබුණු කොණ්ඩය කොට කරගෙනය.

එසේත් නැතිනම් ශරීරය තුළට ඇතුළු කළ යකඩ ඇණ හෝ ඉදිකටු සහිතවය.මේවා පසුගිය වසර ගණනාවක සිට අපට අසන්නට දකින්නට ලැබුණු ප්‍රබල සිද්ධීන්ය. ඒ නිසාම මැදපෙරදිග රැකියාවට යෑම යනු ශ්‍රී ලාංකිකයින්ට සිය ජීවිතය මරණයට උකස් තබා යන ගමනකට සමාන විය.

එහෙත් පසුගිය සතියේ මාධ්‍ය හරහා පැතිර ගිය එක්තරා පුවතක් හේතුවෙන් මේ තත්ත්වය උඩි යටිකුරු කළේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.ඒ මැද පෙරදිග රැකියාවට ගොස් බොහෝ අතපසුවීම් හා වැරදි ක්‍රියා නිසා වැටුප් පමණක් නොව අත පයද අහිමිව පැමිණෙන්නන් සිටින මෙරට වැඩිහිටියකුට සෞදියේ ධන කුවේරයෙකුගේ බූදලයෙන් කොටසක් අවසන් කැමැති පත්‍රයක් මඟින් හිමිවීමේ පුවතයි.

විවිධ මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුරුවලට අනුව ඒ “බූදල් හිමිකරු” සොයා යෑමට අප අදහස් කළේ මේ සිදු වීමේ ඇත්ත නැත්ත අනාවරණය කර ගන්නටය. පොල්ගහවෙල – බන්දාවේ සිට දිඹුල්කුඹුර දක්වා යන මාර්ගයේ පිහිටි මේ “බුදල් හිමිකරුගේ” නිවස සොයා ගෙන අප යන විටත් ඔහු නිවසේ සිටියේ නැත.
“තාත්තා කඩේට ගියා. දැන් දවල් කෑමට ගෙදර එනවා. එනකම් වාඩි වෙන්න” ඒ ආරාධනය මොහොමඩ් රිසාන් ගේ බෑනාගෙනි.

“මොහොමඩ් රිසාන් හමිදු ලෙබ්බේ” යනු අපගේ මේ කතා නායකයායි. 1953 වසරේ අගෝස්තු 15 වැනි දින පොල්ගහවෙල – ඔරුලියද්දේ දී උපත ලද මොහොමඩ් රිසාන් තිදරු පියෙකි. දියණියන් දෙදෙනකු සහ එක් පුත්‍රයෙකි. එක් දියණියක තරුණ වයසේදීම මියගොසිනි.එවකට හරි හ මන් රැකියාවක් නොමැතිව සිටි රිසාන් පළමු වතාවට රියැදුරු රැකියාවකට සෞදියේ බහරේන් බලා යන්නේ 1987 අවුරුද්දේදීය.

“මම පළවැනි වතාවට මැදපෙරදිග රැකියාවකට ගියේ 1987 අවුරුද්දේ. එහෙම ගිය මට බහරේන්වලට වීසා ගහ ගන්න බැරිවුණා. ඒ දවස්වල අපිට ඒ රටට වීසා ගන්න “හයිලි” යන්න සිද්ධ වුණා. අද වගේ නෙවෙයි එදා අපිට යන්න වුණේ ප්ලේන් එකේ. දැන් වගේ ගොඩබිමින් යන්න පාරක් තිබුණේ නෑ. ප්ලේන් එකේ යනව නම් පැය භාගයක විතර කාලයක් යනවා.

මේ බහරේන් – හයිලින් අතර ප්‍රදේශයක් තියෙනවා සුරේයිදා කියලා. ඒ හරියේ තිබුණ ෆාම් එකකට තමයි අපිව වැඩට දැම්මේ. එතන මගෙත් එක්ක තුන් දෙනෙක් වැඩ කළා. අපි මුලින්ම ගියේ රියදුරන් විදිහට වුණත් අපිට ඒ ෆාම් එකේදී එහි කම්කරුවන් විදිහටත් වැඩ කරන්නන් සිද්ධ වුණා. එය, තිරිඟුපිටි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් සහිත ගොවි පළක්.

බහරේනයේදී රජයට මේ නිෂ්පාදන ගන්නවා. ඒ විදිහට තමයි අපි වැඩ කළේ. මං දිනට අවුරුදු නවයක් එහි සේවය කළා. මගෙත් එක්ක හිටිය අනික් දෙදෙනා පිලිපීනයේ හා කොරියාවෙ අය. ටික කාලයක් යද්දි මේ කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා. මේ ෆාම් එක අයිතිකාරයා වුණේ බහරේන්වල හිටපු “සුකූර් සුවේලම් සෙම්මරි” කියන ධනවත් ව්‍යාපාරිකයෙක්.

ඔහුට ඒ රටේ කර්මාන්ත ශාලා ගොඩක් තිබුණා. ඒ රටේ සෙම්මරි කියන උසස් කුලයට අයත් පුද්ගලයෙක් එයා. ඒ වුණාට සේවකයන්ට වගේම ඔහුට සම්බන්ධ සියලු දෙනාට ඉතාමත් කරුණාවෙන් ඔහු සැලකුවා. ඒ නිසා කවුරුත් ඔහුට විරුද්ධව වචනයක්වත් කිව්වේ නෑ.

කොහොමත් වැඩ කරන කාලයේ විටින් විට අපේ පඩි ගෙවීමත් ටිකක් ඇනහිටිනවා. ඒ කර්මාන්ත ශාලාව පාඩු ලබන කොට. හැබැයි මෙහෙම හිඟ වෙන පඩි ඊළඟ අවුරුද්දෙ හරි අපිට ලැබුණා. ඒ නිසා විඩෙන් විඩේ සෑහනෙ කාලයකට පඩි නොලැබෙන එක අපිට ඒ තරම් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ මොකද හාම්පුතා අපිට කාලයක් පහු වෙලා හරි ඒ මුදල් දෙන නිසා.

අපි ඉතාමත් අවංක ලෙස එහි සේවය කළා. ඒ අතතුර කාලයේදී මං දෙතුන් පාරක්ම ලංකාවට ඇවිත් ගිහින් තියෙනවා. අපි ආපහු යනකම් ඒ ෆාම් එකට අපි වෙනුවට කවුරුත්ම ගන්නේ නෑ. ඒ තරමටම අපිත් එක්ක ලොකු බැඳීමක් තිබුණා.

කොහොම හරි අවුරුදු 9 හමාරකට විතර පස්සේ ආපහු ලංකාවට 1996දි. එනකොට මට අවුරුද්දක විතර පඩි ගෙවල තිබුණේ නෑ. ඒ වුණාට මං හාම්පුතාගෙන් බල කරලා සල්ලි ඉල්ලන්න ගියේ නෑ. ඔහු – මට මාස 6කට නිවාඩු දීලා ලංකාවට එව්වේ නිවාඩුව ඉවර වෙලා ආයෙත් එතැනට එන්න කියලයි.

සමහර විට මං ආපහු ගෙන්න ගන්න ඕන නිසා අවුරුද්දක හිඟ වැටුප් තියාගත්තද කියන්න මං දන්නේ නෑ. කොහොම වුණත් 1996දී ලංකාවට ආව මං ආපහු ගියේ නෑ. මං මෙහේ ඉඳගෙන පුංචි පුංචි වෙළෙ¼දාම් ටිකක් කරගෙන පවුලත් එක්ක ජීවත් වුණා. එහෙම ඉද්දි තමයි දැන් ඔය කරන බන්දාව හන්දියේ තියන පුංචි කඩේ දාගන්නේ. දැනටත් ඒකට මාසෙකට රුපියල් 4000/-ක කුලියක් ගෙවනවා” යැයි කඩේ සිට දහවල් කෑමට ගෙදර පැමිණි, රිසාන් අප සමඟ කීවේය.

තේ කඩයක් කීවාට එය ලෑලි හා තහඩුවලින් ආවරණය කළ කුඩා ඉඩකඩක් සහිත කොටසකි. එහි තේ මෙන්ම ආප්ප – වඩේ වැනි දෑද විකුණන්නට ඇත. මෙපමණ බූදලයක හිමිකම් කියන මේ මිනිසා ගෙවන ජීවිතය පුදුම සහගත නිසා මේ බූදල් කනව මොකක්දැයි අපි රිසාන් මහතාගෙන් විමසීමු.
“මේක මේ කියන තරම් කෝටි ගණනක බූදලයක් නොවෙයි. තවම කීයක් හම්බ වෙනවද කියලවත් මං දන්නේ නෑ. මට ලැබුණු තොරතුරුවලට අනුව මං එහේ රස්සාව දාලා එද්දි මට ගෙවන්න තිබුණ හිඟ වැටුප් වෙනුවෙන් වෙන් කරලා තිබුණ මුදලක් තමයි මේ මට ලැබෙන්න යන්නේ.

ඒ වුණාට මට කෝටි ගානක බූදලයක් ලැබෙන්න යන්න වගේ තමයි කතාව ගිහින් තියෙන්නේ. වෙනද මාව ගණන් නොගන්න අය දැන් මගෙන් එක්ක හිනාවෙනවා. කතාවට එනවා. ඒ විතරක් නෙවෙයි, පාරේ යද්දි පොලිස් රාලහාමිලත් මට හිනාවෙලා කියනවා “හා අපි එන්නම්කෝ ගෙවල් පැත්තේ ඇවිල්ල යන්න” කියලා. මං දන්නේ නෑ ඒ ඇයි කියලා” යැයි කියමින් රිසාන් කොක්හඬලා සිනාසෙයි.

ඔහු කියන අන්දමට මේ බූදල් කතාව නිසා ඔහුගේ ජීවිතයටද අනතුරක් වේ යැයි ඔහු බියෙන් පසුවේය.”එතකොට මෙහෙම මුදලක් ඔබට ලැබෙන්න තිබුණු විශේෂ හේතුව මොකක්ද? “අපි රිසාන් මහතාගෙන් නැවත විමසුවෙමු. ඊට ඔහු ලබා දුන්නේ අපූරු පිළිතුරකි.”අපි අපි කරන වැඩේට සාධාරණය ඉෂ්ට කරනවා නම් ආපහු ස්වභාව ධර්මයා වුණත් අපිට සාධාරණය ඉටු කරනවා මහත්තයා.

මං කවදාවත් රස්සාවට බොරු කළේ නෑ. අපි කරන වැඩේ කැපවීමෙන් කළා. මහ ලොකු දේවල් ඉල්ලල අරගල කළේ නෑ. කොටින්ම හාම්පුතාලට කරදරයක් නොවි අපි අපිට නියම කරන වැඩ ටික කළා. මං හිතන්නේ ඒ වෙනුවෙන් දෙවියන් දීපු තෑග්ගක් මේක”

රිසාන් සෞදියේ රැකියාවෙන් ඉවත්ව ආපහු ලංකාවට පැමිණ ඇත්තේ 1996 වසරේදීය. එතෙක් මෙතෙක් ගතවූ කාලය වසර 22කි.එවකට සෞදියේ සිටි රිසාන්ගේ හාම්පුතා වූ “සූකූර් සුවේලම් සෙම්මරි” මියගොස් දැනට වසර 6 1/2ක් ගතව ඇතැයි කියති. සුවේලම් මහතා මිය යෑමට පෙර ලියා තැබූ අවසන් කැමැති පත්‍රයකට අනුව ශ්‍රී ලංකාවේ රිසාන් හම්දු ලෙබ්බේ නැමැතකුට ඉන් යම්කිසි මුදලක් වෙන්කර ඇති බව දැනගෙන තිබෙන්නේ සුවේලම් මහතාගේ මුනුපුරා විසිනි.

ඔහු ඒ අනුව මෙරට තානාපති කාර්යාල හරහා විදේශ රැකියා කාර්යාංශය දැනුවත් කර මාධ්‍ය මඟින් මේ බව ප්‍රචාරය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රීසාන්ට මේ වාසනාව උදාවී තිබේ. “මං මේක මුලින්ම දැනගත්තේ මගේ ඥාති සහෝදරයකුගේ මාර්ගයෙන්. ඔහු තමයි මේ ප්‍රවෘත්තිය දැකල මට ඇවිල්ල කිව්වේ. ඊට පස්සෙ අපි හොයල බැලුවා. කියන්නේ ඇත්ත. සුවෙලම් මහතා මිය ගිය පුවත “අරාබි නිවුස්” වෙබ් අඩවිය හරහා ප්‍රචාරය වී තිබුණා. ඒ අනුව අපි ඊට අවශ්‍ය කටයුතු කළා”

“මේ රටින් පිටරට යන හැමෝම මං කියන්නේ තමන් ගත්ත පඩියට හරියන්න වැඩ කරන්න. කරන වැඩේට අවංක වෙන්න. අපි එහේ යන්නේ වැඩ කරල කීයක් හරි හොයාගන්න මිසක් නිකන් ඉඳලා පඩි ගන්න නෙවෙයි” යැයි රිසාන් පවසයි.මේ සිදුවීම අපට තවත් එක් කාරණයක් කියා දෙයි. ඒ මනුෂ්‍යයකුට අවංක, යහපත් කෙනෙක් විය හැකි ප්‍රමාණයයි.

මැදපෙරදිගින් අප අසන්නේ අසත්පුරුෂයන් ගැනය. සල්ලාලයන් ගැනය. මනෝ විකෘතියක මිනීමරු නොමිනිසුන් ගැනය. ඒ සමාජයේ ඉන්නා යහපත් මනුෂයන් ගැන ඇසෙන්නේම නැත.”සුකූර් සුවේලම් සෙම්මරි” එවන් උතුම් මනුෂ්‍යයෙකි. ඔහුගේ බූදලය වසර 6 පසු බෙදූ ඔහුගේ මුනුපුරාත් එවැනි උතුම් මනුෂ්‍යයෙකි. ලෝකය ලස්සන කරන්නේ මෙවැනි මිනිසුන්ය.එහෙත් අහේතුවකට මෙන් එවැනි උත්තුංග මනුෂ්‍යත්වය සහිත මිනිසුන් අතිශයින්ම විරල වීමය.