පුස් වෙඩිල්ලක් වුනු කැබිනට් සංශෝධනයත් එක්ක අද දහවල් රටින් පැන්න ඇමතිවරු මෙන්න

1034

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන හා මහාමාර්ග නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දුට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කරනු ඇත.

හිටපු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර සමරවීර වනජීවී හා තිරසාර සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මේ අතර මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් පී. පෙරේරා බන්ධනාගාර හා පුනුරුත්තාපන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මේ අතර නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ.සී අලවතුවල පත් කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

විදෙස්ගත වී අද දිනයේ සිදු වූ කැබිනට් සංශෝධනය මගහැරීම සඳහා අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ක්‍රියා කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අමාත්‍ය අර්ජුන රණතුංගඅද අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. – 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද දහවල් 1.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිත අතර අමාත්‍ය සරත් අමුණුගම අද දහවල් 2.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L. – 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතයි.

එමෙන්ම අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර අද දහවල් 12.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.