ගොසිප්

අරලියගහ මන්දිරෙන් ගෙදර යනකොට මහින්දගෙ සේප්පු උස්සන් ගිය රාජා කියන රහස්

සේප්පුවක් කියන්නේ රහස් ආකරයකි. කවුරුන් කොහොම කිව්වත් ලෝකයේ ඉතිහාසය වෙනස් කරලන තීන්දු ගනු ලබන්නේ සේප්පු තුළ නිධන්ගත කර ඇති රහස් ලිපි, කඩදාසි, මුතු මැණික් සහ මුදල් කොළ නෝට්ටු විසිනි. මේ නිසාම සේප්පු නිර්මාණය කරන්නේත් ජලයෙන්, ගින්නෙන් විනාශවී නොයන ආකාරයටයි. ඒවා ටොන් ගණනක් බරය.

Loading...

මේ ටොන් ගණන් බර සේප්පු තැනෙකින් තැනකට මාරු කරලීම වෙනමම තාක්ෂණයකි. එයට විශේෂ පළපුරුද්දක් වුවමනාය. සේප්පු ප්‍රවාහනය කිරීම සම්බන්ධව ලංකාවේ නම දිනූ ව්‍යාපාරික මහතකු නුදුරු දිනක අපට හමුවිය. නමින් ඔහු කේ.ඒ.එස්.කේ. ජයසිංහ වෙයි. ඔහුගේ ව්‍යාපාර ආයතනය ජේ.එස්. ට්‍රාන්ස්‍පෝට් සර්විසස්, ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට ගොස් සිය සේවා සැපයීමට ඇණවුම් භාරගනී. ඒරාජකාරිය පිළිබඳව වූ කුතුහලය නිසාම ජයසිංහ මහතාගෙන් වැඩිදුර තොරතුරු විමසන්නට අපට වුවමනා විය.

“2004 අවුරුද්දේ මම රැකියාව පටන්ගත්තේ කොම්පැනියක ඩ්‍රයිවර් කෙනෙක් විදිහටයි. ඊට පස්සේ සල්ලි එකතු කරලා ලොරියක් ගත්තා. ඒ ලොරියෙන් කළේ බඩු ප්‍රවාහනය කරන එක. ගෙවල් මාරු වෙනකොට, කාර්යාල මාරු වෙනකොට, බඩුමුට්ටු තැනකින් තැනකට ප්‍රවාහනය කිරීම කියන්නේ අදටත් අපේ ව්‍යාපාර ආයතනයේ සේවාවක්. ඒ අතරේ ‘සේප්පු’ විශේෂයි. මොකද සේප්පුවක් තැනකින් තැනකට මාරු කිරීම ඕනෑම කෙනකුට කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. ඒකට තාක්ෂණය ඕනෑ.”

“සේප්පු ප්‍රවාහනය කරන වැඩේට දක්ෂයෝ කිහිප දෙනෙක් මගේ යටතේ වැඩ කරනවා. හැබැයි කී දෙනෙක් හිටියත් වැඩක් කරනකොට මාත් කර අරින්නෙ නැතුව බර අදිනවා. සේප්පු ගෙනියන වැඩවලට වුවමනා බඩු කට්ටලත් අපි ළඟ ඇති තරම් තියෙනවා.”

Loading...

සේප්පුවල ඇතුළේ තියෙන්නේ වටිනාම රහස් ලියකියවිලි, මුතු මැණික්, නෝට්ටු බව දැන සිටියත් සේප්පුවක බර ගැන හරියටම කියන්නට දන්නේ ජයසිංහ මහත්තයා වැනි අය පමණකි.

“සේප්පුවක පිටත වැස්ම හදන්නේ වානේවලින්. ඒත් මැද බිත්තිය පුරවන්නේ කොන්ක්‍රීට් සහ යකඩ කුට්ටිවලිනුයි. ඒකයි සේප්පුවක් එච්චර බර. සාමාන්‍යයෙන් කිලෝ 1500 පටන් පහළට බරැති සේප්පු ලංකාවේදි අපි එහෙ මෙහේ ප්‍රවාහනය කරලා තියෙනවා. ලොකුම සේප්පු අපි ප්‍රවාහනයට උදව් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒ වගේම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයතනවල, පුද්ගලික බැංකුවල, රජයේ ආයතනවල ලොකු ලොකු සේප්පු ඕනෑ තරම් අපි ප්‍රවාහනය කරලා දීලා තියෙනවා..”

මේ අතරේ අමාරුම රාජකාරිය පැවරුණේ කවදාදැයි අපි ඇසුවෙමු.“ඒකට නම් උත්තරයක් දෙන්න අමාරුයි. මොකද කොතැන කොහොම තිබුණත් සේප්පුවක් තැනකින් තැනකට අදිනවා කියන්නේ අමාරු වැඩක් තමයි. සාමාන්‍යයෙන් ගොඩනැගිල්‍ලේ ස්වභාවය අනුවත් වැඩේ අමාරුකම තවත් වැඩිවෙනවා.

සමහර ගොඩනැගිලිවල විදුලි සෝපාන නැහැනේ. එතකොට අපි පඩියෙන් පඩිය තාක්ෂණේට අනුව සේප්පුව හෙමි හෙමින් උස්සනවා. ඒ අතරේ සමහර ගොඩනැගිලිවල කැරකෙන පඩිපෙළ තියෙනවා. එතකොට තවත් අමාරුයි. කොහොමත් හුඟක් ආයතනවල විදුලි සෝපානවලට සේප්පු දාන්න දෙන්නේ නැහැ. මොකද බොහෝ විදුලි සෝපාන යන්ත්‍රවලට එච්චර බර අදින්න බැහැ. ඒවා කැඩිලා යනවා. එතකොට අපි හය හත්දෙනෙක් මහන්සි වෙලා සේප්පු අපේ ශ්‍රමයෙන් ඉහළ මාලවලට ගෙනියනවා.”

ටොන් ගණනක් බර සේප්පු මිනිස් ශ්‍රමයෙන් එහා මෙහා ගෙනයාම අතිශය දුෂ්කර ව්‍යායාමයකි. ජයසිංහ මහත්තයා ඒ අමාරුකම විස්තර කරන්නට යොදාගත් උපමාව “මේක හරියට අතුරේ යනවා වගේ අනතුරුදායක වැඩක්..” යන වැකියයි. ඔහු ඒ වෙනස මෙලෙස වචනයට නැගුවේය.

“මෙතැනදි හැමෝම හුඟක් වගකීමෙන් වැඩ කරන්න ඕනෑ. ඕනෑම මොහොතක සේප්පුව පෙරළුණොත් පඩිපෙ‍ලේ පහළ පඩිවල ඉන්න අයගේ ජීවිත අනතුරේ වැටෙනවා. බර සේප්පුවක් නම් කොඳු ඇට පෙළට හානිවෙලා ජීවිතේ පවා අනතුරට ලක්වෙන්න පුළුවන්. අනික් කාරණේ තමයි වැරදීමකින් හරි සේප්පුව අතින් ගිලිහුණොත් වැටෙන්නේ කකු‍ලේ ඇඟිලි ටික උඩට. ඒ වගේ ‍පොඩි ‍පොඩි අනතුරුවලට නම් අපි අනන්තවත් මුහුණ දෙනවා. කොහොමත් මට වැඩ කරන්න ආපු ගෝලයකුට තුවාලයක්, අමාරුකමක් වුණොත් මම කවදාවත් අහක බලන්නේ නැහැ. මගේ වැඩකට ඇවිත් ඒ මනුස්සයාට අනතුරක් නිසා ගෙදර ඉන්න වුණොත් ඒ කාලයට ගෙදරට ගිහින් හොයලා බලලා දීමනාවක් කරනවා.”

“කොහොමත් ඇඟපත අමාරුව නම් මේ රස්සාවේ හැටියක්මනේ. හැමදාම හවස් වෙනකොට මගෙත් ඇඟපත, කොන්ද කැක්කුම් ඇතිවෙනවා. එතකොට බාම් වර්ගයක් ගාලා නිදාගත්තාම උදේට සනීපයි. හයිය තියෙන කා‍ලේ මෙහෙම වැඩ කළාට මේවා හැමදාම කරන්න පුළුවන් රස්සාවල් ‍නෙවෙයි.”

අනතුරු සිද්ධ වෙන්නේ මිනිසුන්ට විතරක්ම නෙවේ. භෞතික භාණ්ඩ, ගොඩනැගිලි උපකරණවල ආරක්ෂාව ගැනත් තමන්ට හිතන්නට සිද්ධ වෙන බව ජයසිංහ මහතා කියයි.

“වෙන්න පුළුවන් සුලබම අනතුර, ගොඩනැගිලිවල ටයිල් කැඩෙන එක. බාසුන්නැහේලා බොල් වෙන්න ටයිල් ඇල්ලුවාම ඒ මත බරක් තියපු ගමන් ටයිල් එක කැඩෙනවා. ඒ නිසා අපි ඒ ගැන හරි සැලකිලිමත්. අපි බිම දිගේ බඩු අදින්නේ නැහැ. බිමට ලී පටි හෝ ර්ච්ජ් බෝඩ් දානවා. යකඩ රෝල් උඩ තමයි බඩු රෝල් කරන්නේ. ඒක ආරක්ෂිතයි සහ පහසුයි.

වැඩක් කරනවා නම් ඒක වැඩේට ආදරෙන් කරන්න ඕනෑ. හැබැයි දවසක් අතපසුවීමක් වෙලා ඉතාලි එම්බසියේ කාපට් එකකට අපේ අතින් තුවාල වුණා. එයාලා නිකම් හිටියේ නෑ. ඒ පාඩුව අපේ ගාස්තුවෙන් අඩු කළා. එතකොට අපට ඉතිරි වෙන්නේ ඇඟේ මහන්සිය විතරයි.”

සේප්පු ඇතුළේ තියෙන්නේ වටිනාම රහස් වන නිසා ඒවා එහා මෙහා ප්‍රවාහනය කරන්නට යොදාගත යුත්තේ විශ්වාසවන්තම අයයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් සිය මන්දිරයේ වූ සේප්පු ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරුවේ තමාට බව ජයසිංහ මහතා අද කියන්නේ ආඩම්බරයෙනි.

“ජනවාරි අටවැනිදා ඡන්දේ පැරදුණාම මහින්ද මහත්තයාට පැය විසි හතරක් ඇතුළත ජනාධිපති මන්දිරයෙන් ඉවත් වෙන්න වුවමනා වුණා. විශ්වාසවන්ත කෙනෙක් හැටියට එතුමගේ ආරක්ෂක අංශයේ අය ඒ රාජකාරිය පැවරුවේ මටයි. මම, මගේ ගෝලයෝ යොදවලා අරලියගහ මන්දිරයෙන් පුද්ගලික නිවසකට ඒ සේප්පු ගෙන ගියා. එතුමා එතැනින් හිටපු ජනපති නිල නිවසට පදිංචිය මාරු කරද්දිත් ඒ සේප්පු බඩුමුට්ටු ප්‍රවාහනය කරලා දුන්නේ මමයි..”

රටේ ජනපතිගේ පටන් පහළ මට්ටමේ ඕනෑම කෙනකුට සිය උපරිම හැකියාවෙන් සේවය සපයන ජයසිංහ මහත්තයා, තමන් යටතේ සේවය කරන ගෝලයකුට දිනකට රුපියල් 1500ත් 2500ත් අතර මුදලක් නොවැරදීම ගෙවයි.“රනිල් වික්‍රමසිංහ මහත්තයාලා සාම සාකච්ඡා වෙනුවෙන් සටන් විරාමයක් තියපු කා‍ලේ ඒ-9 පාර විවෘත කළානේ.

එතකොට මම සේවය කළ ආයතනයට වව්නියාවේ නියෝජිතයෙක් හරහා ඇණවුමක් ලැබුණා. ඒ කිලිනොච්චියට සේප්පු වගයක් අරගෙන යන්න. කොටින්ට ඒ කා‍ලේ තිබුණා තමිල් ඊළාම් බෑන්ක් කියලා බැංකු ජාලයක්. අපි ඒ බැංකු ශාඛාවලට තමයි ඒ සේප්පු භාරදුන්නේ..”

ජයසිංහ මහත්තයා සිහිපත් කරයි.ජයසිංහ මහත්තයා වැඩකට මිල නියම කරන්නේ ඒ කටයුත්තේ භාරධූර බව සලකා බලාය. මේ අතර තමන් ඇතුළු පිරිස වෙහෙසෙන හැටි දකින ඇතැම් කරුණාවන්ත නෝනා මහත්වරුද තමන්ට සන්තෝෂයටත් එක්ක මුදලක් අතමිට මොළවන අවස්ථාද ඇති බව ඔහු කියයි. ඒත් ජයසිංහ මහත්තයාලාගේ වෙහෙසට මිලක් නියම කළ නොහේ. අසනීපයක්, අනතුරක් සිද්ධ වූ වෙලාවට විඳිනා අපහසුතාවලට මිලක් ඇත්තේම නැත.

 

Related Posts