ලිපි පුවත්

ලංකාවෙ උසම තැනට යන්න දැන් නීතියෙන් තහනමක් නෑ

මෙරට සුවිශේෂ පරිසර පද්ධතියකට උරුමකම් කියන කන්දක් ලෙස “පිදුරුතලාගල” හඳුන්වා දෙන්න පුළුවන්. නුවරඑළිය පරිසරයට පමණක් අයිති ශාක වර්ග රැසක් මේ කන්දේදී අපිට දැකගන්න ලැබෙනවා. ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කඳු මුඳුනට යන්න ආරක්ෂක අංශවලින් මේ වනවිට අවසරය ලබාදී තිබුණත් ඒ ගැන තවමත් බොහෝ දෙනෙක් දන්නේ නෑ. සැබැවින්ම පිදුරුතලාගල කඳු මුඳුනේදී ලංකාවේම සුන්දරත්වය ඉතා හොඳින් අත්විඳින්න පුළුවන්.

Loading...

නුවරඑළිය නගරයේ සිරි නැරඹීමට එන ඕනෑම සංචාරකයකුට පිදුරුතලාගල කඳු මුදුනට ප්‍රවේශ විය හැකි මාර්ග දෙකක් තියෙනවා. පළමුවැන්න තමයි, නුවරඑළිය ‍පොලිසිය ඉදිරිපිටින් දිවෙන අතුරු මාර්ගයේ ගිහින් (මේ පාර ශ්‍රීමත් ජයතිලක මාවත නමින් හඳුන්වනවා.) මැතිවරණ කාර්යාලය අසලින් ගැමුණු මාවත දිගේ යද්දී පිදුරුතලාගල කඳු මුඳුනට යන මාර්ගය හමුවෙනවා.

අනෙක් මාර්ගය තමයි නුවරඑළිය ‍පොලිසිය අසල ඇති වට රවුමෙන් දකුණට හැරී හාවාඑළිය මාර්ගය ඔස්සේ ටික දුරක් යද්දී නුවරඑළිය දිසාපති මැදුරට පිවිසෙන මාර්ගය හමුවෙනවා. ඒ අසලින් ඇති ‍ලේඩි මැකලම් මාර්ගය ඔස්සේ යද්දී ගැමුණු මාවත හමුවෙනවා. ගැමුණු මාවතේ ටික දුරක් යද්දී, නුවරඑළිය සුසාන භූමියට පිවිසෙන මාර්ගයට ප්‍රවේශවිය හැකියි. ඒ අසලින් පිදුරුතලාගලට ප්‍රවේශ වන මාර්ගය හමුවෙනවා.

පිදුරුතලාගල කඳු මුඳුනට යාමට පෙර එම ස්ථානයේ ඇති හමුදා කාර්යාලයෙන් වාහන අවසර පත්‍රයක් ලබාගත යුතුයි. එම අවසරය ඇතිව පිදුරුතලාගල කඳු මුදුනට යන්න පුළුවන්. මේ මාර්ගය මෝටර් රථවලටද ගමන් කිරීමේ සුදුසු මට්ටමක තිබෙනවා.

Loading...

පිදුරුතලාගල කඳු මුඳුනට යුද හමුදා අවසරය ලබා ගන්නා කාර්යාලය අසල සිට කිලෝමීටර් අටක -නමයක දුරක් ඉහළට ගමන් කළ යුතුයි. මේ මාර්ගය තැන් තැන්වල තාර දමා සකසා තිබෙන අතර, ඇතැම් තැන්වල කොන්ක්‍රීට් දමා සකසා තිබෙනවා. මාර්ගයේ තැන තැන වළවල් තිබුණත් ඉන් ගමනට ලොකු බාධාවක් එල්ල වෙන්නේ නෑ.
කඳු මුඳුනට යන ගමන මඳක් දුෂ්කර වූවත්, අවට පවතින සුන්දරත්වය හේතුවෙන් ගමන් විඩාවක් නොදැනෙන තරම්. කන්දේ පහළ ප්‍රදේශයේදී නුවරඑළිය නගරය, ගේ‍රගරි වැව ආදී ප්‍රදේශ මැනවින් දිස් වෙනවා. කඳු මුඳුනට යද්දී පවතින සීතල නම් නුවරඑළිය නගරයට වඩා වැඩියි. ඇඟේ හිරිගඩු පිපෙන තරමටම සීතල වැඩියි.

මේ මාර්ගයේ ගමන් ගද්දී වාහනවලට වේගය පාලනයක් ලබාදී තිබෙනවා. වාහනවලට රේස් යන්න කිසිම අවසරයක් නෑ. මොකද කියනවා නම් පිදුරුතලාගල කියන්නේ ලංකාවේ සුවිශේෂ පරිසර පද්ධතියක් වගේම අධි ආරක්ෂිත කලාපයක්. මේ වන පියසේ දිවියන් බහුලව ගැවසෙනවා. සතුන් එහා මෙහා යනවා. පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරන්න තමයි වේග පාලනයට සීමා දාලා තියෙන්නේ. දිවියන් ආදී බහුලව ගැවසෙන ප්‍රදේශයක් බවට පරිසර අංශවලින් පිදුරුතලාගල කඳු මාර්ගයේ තැන තැන පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකිය.

ඒ වගේම අතරමග වාහන නතර කරන්නත් අවසර නෑ. වංගු බහුල කඳු මාර්ගය ඉතා අවබෝධයෙන් යා යුතුයි. ඇතැම් ස්ථාන මඳක් පටුයි. ඉදිරියෙන් එන වාහනයකට ඉඩ දීමට අපහසු අවස්ථාවන්ද තිබෙනවා.

මහරත්මල් ආදී ශාක මෙහිදී බහුලව දැකගත හැකියි. ටී වන ශාක, විවිධ කැලෑ මල් වර්ග ආදියද මේ මාර්ගයේ ගමන් කරද්දී දැකගන්න පුළුවන්. ක්‍රම ක්‍රමයෙන් ඉහළට යද්දී රටේ බොහෝ ප්‍රදේශ දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මේ ලියුම්කරු පිදුරුතලාගල කඳු මුඳුනට යාමේ කටයුතු ආරම්භ කළේ පස්වරු තුනට පමණ. හැබැයි වැසිබර තත්ත්වයක් තිබුණේ. බොහෝ ප්‍රදේශ දැඩි මීදුමින් වැහිලා තිබුණා.

පිදුරුතලාගල කඳු මුඳුන මුහුදු මට්ටමේ සිට මීටර් 2524 ක් එනම් අඩි 8281 ක උසකින් පවතී. කඳු මුදුන ආසන්නයේද යුද හමුදා ආරක්ෂක මුර‍පොළක් පවතී.

උදෑසන 6.00ට 7.00ට පමණ පිදුරුතලාගල කඳු මුදුනට අවට කඳු ප්‍රදේශ දිස්වන්නේ සුදු සේලයක් ඇතිරුවා පරිද්දෙන් වළාකුළුවලින් බරව.

පිදුරුතලාගල කඳු මුදුනට යන්න හොඳම කාලය තමයි උදෑසන කාලය. පෙරවරු 9.00ට 10.00ට විතර හොඳින් අවට ප්‍රදේශය දිස්වන බව නුවරඑළියේ බොහෝ දෙනා පවසනවා. කඳු මුදුනේ වාහන නතර කිරීම සඳහා රථ ගාලක් යුද හමුදාව විසින් සකස් කර තිබෙනවා. නුවරඑළියේ පිහිටි තුන්වන සිංහ රෙජිමේන්තුව යටතේ තමයි මේ කලාපය පාලනය වෙන්නේ.

මේ ස්ථානයට ඉහළින් රූපවාහිනී සංඥා කුලුනත්, ගුවන් තොටු‍පොළ සහ ගුවන් සේවා සමාගමට අයත් රේඩාර් පද්ධතියත්, යුද හමුදා සන්නිවේදන මධ්‍යස්ථානයත් පිහිටා තිබෙනවා. එම ස්ථාන නැරඹීමට යාමට අවසරයක් නෑ. පිදුරුතලාගල “අල්ට්‍රා අධි ආරක්ෂිත කලාපයක්”ලෙසද හඳුන්වනු ලබනවා. හේතුව මෙම සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටා තිබෙන නිසයි.

කඳු මුදුනට ගියාට පස්සේ නම් හිතෙන්නේ අමුතු ලෝකයකට ආවා බඳු හැඟීමක්. ලංකාවේ බොහෝ ප්‍රදේශ මේ ස්ථානයට දිස්වෙනවා. හොඳින්

හිරුඑළිය වැටුනු අවස්ථාවකදී නම් සිරීපාදය, කොළඹ ගාලුමුවදොර, කොළඹ නගරයේ උස් ගොඩනැගිලි, කඳුකර ජලාශ ආදියද දිස්වන බවයි පැවසෙන්නේ.

“ඉස්සර අපි යද්දී සෙලින්කෝ ටවර් එක එහෙම හොඳට පෙනුණා. ගෝල් ෆේස් එකත් පේනවා. සිරීපාදෙත් හොඳට පේනවා. වැහිබර කාලගුණයක් තිබුණොත් වටේම මීදුමෙන් වැහිලා යනවා.”යැයි පරිසරවේදියකු කීවේය.

උණු උණු රොටියක සහ උණු කහට කෝප්පයක රස විඳීම සඳහා යුද හමුදාව පිදුරුතලාගල කඳු මුඳුනේ කුඩා ආපන ශාලාවක්ද පවත්වාගෙන යන්නේය. කඳු මුඳුනට යන බොහෝ දෙනකු මෙම ස්ථානයට යාමට අමතක නොකරති.

රූපවාහිනී සංඥා කුලුන ආශ්‍රිත ප්‍රදේශයේ සීමාවත්, වාහන නැවතුම්‍පොළත් අතර ප්‍රදේශය තුළදී පිදුරුතලාගල කන්දේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්. ඉවතලන ආහාර ද්‍රව්‍ය, ‍පොලිතින් ආදිය පිදුරුතලාගල රක්ෂිත කලාපයේ කිසිදු ස්ථානයකට බැහැර නොකිරීමට වග බලා ගන්නේ නම් ඉතා වැදගත්. මොකද මේ පරිසර පද්ධතිය ඉතා සංවේදී පරිසර පද්ධතියක් නිසා. එය අපේ රටට සුවිශේෂයි. එය රැක ගැනීමට අප කාටත් යුතුකමක් තියෙනවා.

 

 

Related Posts