දළදා මාලිගාවත් , නුවර වැවත් ආරක්ෂා කරන උඩවත්ත කැලේත් හෝටලේකට තුන් ඇවරයි

258

වන සංරක්‍ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක‍්‍රමයක් මඟින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

මීට වසර දොළහකට පමණ පෙර අනුමත වු බව කියන අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව බව කියමින් රජයේ දැනුවත් භාවයකින් තොරව උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් වෙනත් ස්ථානයකින් ලබාදෙන බිම් කොටසක හිලව්වට ගෙන මෙලෙස ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට පිඹුරු පත් සකස් කිරීම පිටුපස වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් සිටින බවද වාර්තා වේ.

උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ පර්චස් 90ක භූමි ප‍්‍රමාණයක් අනවසරයෙන් අල්ලා ගැනීම මඟින් රජයට රුපියල් 7388500 අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් මහනුවර දිසා වන නිලධාවරයා 1998 වසරේදී මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා වසර 20ක කාලයක් ගතවී ඇතත් මේ වන තුරුත් අදාළ නඩුවේ විභාගය අවසන්වී නැතැයි වන සංරක්‍ෂණ දොපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කන්ද උඩරට රජවරුන්ගේ රාජකීය උද්‍යානය වන උඩවත්ත කැළේ රක්‍ෂිත වනාන්තරයේ වශ්‍යයෙන් 1897 වසරේදී ඉංග‍්‍රීසී පාලකයින් ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කොට ඇත.

රක්‍ෂිත වනාන්තරයක් වශ්‍යයෙන් ගැසට් කොට ඇති මෙම උඩවත්ත වනාන්තරයේ හෝටලය අනවසරයෙන් භූක්ති වි`දින භූමී ප‍්‍රමාණය රක්‍ෂිත භාවයෙන් මුදා හැරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් අදාළ බිම් කොටස බදු දීමට ඉඩ සැළසෙන පරිදි ප‍්‍රාදේශිය ලේකම්වරයා වෙත නිදහස් කිරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් මහනුවර දිසා වන නිලධාරීවරයාට වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළ නිලධාරියෙකු දැනුම් දී ඇතැයි වාර්තා වේ.

උඩවත්ත කැලේ

ශී‍්‍ර දළදා මාළිගාව අවට භූමියත් මහනුවර වැවත් ආරක්‍ෂා කරන මනරම් වනාන්තරයක් ලෙස උඩවත්ත කැලේ ප‍්‍රදේශය ප‍්‍රසිද්ධය. ශී‍්‍ර දළදා මාළිගාවට උතුරු දෙසින් මහනුවර රජකළ පළමුවැනි විමලධර්මසූරිය රජුගේ පටන් සෑම රජකෙනෙක්ම උඩවත්ත කැලේ භූමිය ආරක්‍ෂා කිරීමට නීතිරීති අණ පනත් කි‍්‍රයාත්මක කළබව ඉතිහාසය කියයි. පැරැණි රජවරුන් මෙම භූමිය මාළිගා භූමියේම කොටසක් ලෙස සලකා ආරක්‍ෂා කරන ලදී. මහනුවර වැවට ජලය සපයන ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයක් ලෙස උඩවත්ත කැලේ ප‍්‍රදේශය සැලකේ. උඩරටටම විශේෂිත වූ පුෂ්පයන්ද වටිනා වෘක්‍ෂ ලතාද තවමත් ඉතිරිව තිබේ. රජ පවුලේ ඇත්තන්ට අවට සෞන්දර්යය නරඹනු සඳහා මෙම භූමිය යොදාගත් බව ප‍්‍රකටය. මෙහි පොකුණක් ඉදිකොට ජලජ පැලෑටි වවා එම පොකුණෙන් දියනෑමට රජ පවුලේ අය කි‍්‍රයාකළ බව ඉතිහාසය කියයි. රජ පවුලේ සාමාජිකයන්ට ස්නානය කිරීම සඳහා වෙන්වුණු එම ජල පොකුණ අදත් දක්නට ලැබේ.

එදා උඩවාසලවත්ත (තහංචි කැලේ ) ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබූ අතර ඒ බහිරවකන්ද, ගන්නෝරුව කන්ද හරහා හන්තාන කැලෑවටද අනෙක් පැත්තෙන් ලේවැල්ල, පල්ලේකැලේ සිට රන්දෙණිගල තෙක් පැතිර ගිය පල්ලේකැලේ කැලෑවටද සම්බන්ධ වී එකම වන රොදක් ලෙස පැතිර තිබිණි. ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සඳහා නගරය අවට වනාන්තර එළි කරන ලදුව එකම වනාන්තර විනාශ වී තැනින් තැන කුඩා වන රොදවල් ඉතිරි විය. නගරය ශීඝ්‍ර ලෙස ජනාවාස වීම නිසා ඉතිරිව තිබූ වන රොදවල්ද මිනිස් ජනාවාසවලට යට විය. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත කැලෑව, අද වන විට අක්කර 257 ක භූමි ප‍්‍රදේශයකට සීමා වී ඇත. උඩවත්ත කැලයේ ඇති මාර්ගයක් ලේඩි හෝටන් මාවත ලෙසින් 1843 දී හෝටන් ආණ්ඩුකාරයා සිය බිරිඳ නමින් නම් කරන ලදී. උඩවත්ත කැලය වන තීරය කුඩා කඳුගැට කීපයකින් සමන්විත වේ. මෙහි ඇති උසම කඳු මුදුන කොඩිමලේ නමින් ව්‍යවහාරවේ. එහි උපරිම උස මීටර් 600කි. කොඩිමලේ ආසන්නයේ වසර 300කටත් වඩා පැරණි විශාල පුස්වැළක් ද ඇත.

ගම්පොළ රජකළ සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ක්‍රි. ව. 1473 සිට 1511 දක්වා පාලනය ගෙන ගියේ ය. එතුමා විසින් මහනුවර රාජධානිය අර්ධ ස්වාධින රාජ්‍යයක් ලෙස කෝට්ටේ රාජධානිය යටතේ පාලනය කරන ලදී. ඔහු නගරය ආසන්නයේ පිහිටි උඩවත්තකැලේ වනය තුළ මාළිගයක් ගොඩනගා සුන්දර හාත්පස දර්ශනය අලංකාර කිරීමට විවිධ වෘක්‍ෂලතා රෝපණය කළේය. වනයෙන් ගලා ආ සීතල, පිරිසුදු ජල උල්පත් රජ වාසල, දළදා මාලිගාවේ සතර දේවාල හා නගරයේ අවශ්‍යතා සඳහා භාවිත විය.

උඩවාසලවත්ත රක්ෂිතයෙන් ගැලූ ඖෂධීය ගුණයෙන් යුතු සීතල ජලය යොදාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1798-1815) දේවේන්ද්‍ර මූලාචාරියා ප්‍රධාන ශිල්පීන් ලවා රජු හා රජ බිසවුන්ගේ දිය නෑම සඳහා උල්පැන් පොකුණ දළදා මැඳුර ඉදිරිපිට ඉදි කළේය. 1815 ඉංග්‍රීසීන් විසින් මෙය වනසන ලදුව 1828 ටර්නර්ගේ සැලැස්මක් අනුව උල්පැන් පොකුණ බදාමවලින් වසා ඒ මත කළුගල්, ගඩොල්, දැව මිශ්‍ර දෙමහල් දැවැන්ත පුස්තකාලයක් ඉදි කර ඇත. එය 1857දී විවෘත කෙරිණ. ඉංග්‍රීසීන් වසා දැමූ එම උල්පැන් පොකුණ, දෙමහල් පුස්තකාලය එසේම තිබියදී මෑතක සංස්කෘතික ත්‍රිකෝණය මඟින් යළිත් හාරා මතු කර ඇත. ඒ අනුව මෙම උල්පැන් පොකුණ අඩි 30ක් පමණ දිග අඩි 20ක් පමණ පළල අඩි 6ක් පමණ ගැඹුරු කැටයම් සහිත එකක් ව හෙළි විය.

අද දළදා මාලිගාව ඉදිරිපිට දක්නට ඇති දිය අගලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දේවේන්ද්‍ර මූලාචාරියා ලවා ම කරවූවකි. එදා එය දළදා මාලිගාවේ සිට දැනට විනාශව ඇති බොරවැව දක්වා දිය අගල දිගේ බොරවේ වීදිය ඔස්සේ සැතැපුම් කාලක් පමණ දුරට ගලා ගියේය. ඊට පෙර දළදා මැඳුර ඉදිරිපිට පැරැණි දිය අගලක් තිබී ඇත. එදා දළදා මැඳුර හා සෙංකඩගල නගරය අවට කඳුහෙල්, වනාන්තරවලින් පිරී තිබූ නිසා නගරයෙන් ගලා ගිය දිය ධාරා වැඩි විය. ඒවා පවිත්‍ර විය.

නමුත් කැලෑ විනාශය සමඟ ජල උල්පත්ද විනාශ විය.