Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

මෙන්න පොලිසියෙන් කරපු තවත් හපන්කමක් – 72 හැවිරිදි පියෙක් නොකළ වරදකට පොලිස් කූඩුවේ

466

ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සිය පුත්‍රයා සමඟින් තිබෙන පෞද්ගලික අමනාපකමක් හේතුවෙන් නිවෙසේ වැට ආසන්නයේ පිහිටි පොල් ගසක් මුලට බෝම්බ දෙකක් ගෙනැවිත් දමා අසනීප කිහිපයකින් පීඩා විඳින සිය වයෝවෘද්ධ සැමියා නිකරුණේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කළත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන් මුනිවත රකිමින් සිටින බව ඔහුගේ බිරිය හැඬු­ කඳුළෙන් පැවැසුවාය.

ඉපලෝගම පොලිස් වසමේ ශාන්තගම, කුංචිකුලමේ පදිංචි රාජ්‍ය විශ්‍රාමික සේවකයකු වන 72 හැවිරිදි පස්දරු පියකුවූ ලොකු රාලගේ ඇක්මන් මහතා ඉපලෝගම පොලිසිය මඟින් බෝම්බ සිද්ධියකට පටලවා පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා අත්අඩංගුවට ගත්බව ඥාතීහු පැවැසූහ. හෘදයාබාධයකින්, අධිරුධිර පීඩනයෙන් හා රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමේ රෝගය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පීඩා විඳින ඔහු දැඩි මානසික කම්පනයකින් සිරමැදිරියේ කල්ගෙවන බව බිරිය පැවැසුවාය.

Loading...

 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා සිටින ඒ මහතා වසර 72ක කාලය තුළදී කිසිදු විනය විරෝධී ක්‍රියාවකට ආයතන මට්ටමින් හෝ වෙනත් ආකාරයකින් චෝදනා ලබා නැති බවද වාර්තා විය.

ජීවිතයේ අවසන් සමයේ සිය සැමියා කිසි දිනෙක සිදුනොකළ බරපතළ ගණයේ අපරාධයකට අසුකර අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කරමින් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව දැඩි කනස්සලට පත්වී සිටින ඔහුගේ බිරිය වන බී.ටී. සීලවතී (64) මහත්මිය ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අනුරාධපුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් සිදු කරන අසාධාරණය පිළිබඳව සිය අප්‍රසාදය පළ කළාය.

සිදුකළ හා සිදු කරන අසාධාරණය පිළිබඳව අදහස් දැක්වූ ඇය,”ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ තවත් නිලධාරියකු එකතු වෙලා තමයි මේ පහත් ක්‍රියාව සිදු කළේ. අසරණ තත්ත්වයෙන් පසුවන සැමියාට එල්ල කළ බොරු චෝදනාවට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා පොලිස් කොමිසමට, අගමැතිතුමාට, සාගල රත්නායක ඇමැතිතුමාට, මානව හිමිකම් කොමිසමට අපි ලිඛිතව පැමිණිලි කළා.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට කියලා අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා පරීක්‍ෂණ කළා. නමුත් ප්‍රතිඵල නෑ.පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 29 වැනිදා අපි දෙන්නා නිදාගෙන ඉද්දි රාත්‍රි දහයට විතර ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දහයක් විතර ඇවිල්ලා කිව්වා ගෙදර ටී-56 ගිනි අවියකුයි, පතොරම් හා පිස්තෝල තියෙනවා කියලා ඇමතුමක් ලැබිලා තියෙනවා ඒක පරීක්‍ෂා කරන්න ආවේ කියලා.

මහත්තයා ඇහුවා ගෙදර සෝදිසි කරන්න සෝදිසි වරෙන්තුවක් තියෙනවාද කියලා. නමුත් එහෙම එකක් පොලිසියේ මහත්වරු අතේ තිබ්බේ නෑ. ඔවුන් පැය දෙකක් විතර වත්ත සෝදිසි කරලා යන්න හදනකොටම ඕ.අයි.සී. මහත්තයාට කෝල් එකක් ආවා. පොල් පැළය ළඟ බෝම්බ තියෙනවා කියලා කවුරු හරි කිව්වා. අපිට ඒක ඇහුණා.

ඊට පස්සේ එතැන පරීක්‍ෂා කරලා කුණු රොඩු අස්සේ තිබිලා හොඳටම මලකඩ කාපු බෝම්බ දෙකක් එළියට ගත්තා. අලුත්ම ෂොපින් බෑග් තුනක ඒක දාලා තිබ්බේ. අඟල් හයක් පොළොව යට තිබුණා කියලා තමයි අධිකරණයට සඳහන් කළේ. එහෙම නම් ඒ බෑග් අලුත් පැහැයක් ගන්න බෑ. අනික ඒ දවස් ටිකේ මේ පැත්තට වැස්සා. අඟල් හයක් යටින් තිබ්බ බෑග්වල මඩ ටිකක්වත් තැවරෙන්න එපැයි.

මලකඩ කාපු බෝම්බ දෙකක් ගෙනැල්ලා වත්තේ වළ දාගන්න ඕන නෑ. අනික මහත්තයා බෝම්බවලින් කාට ගහන්නද? මෙච්චර පරණ බෝම්බ දෙකක් වත්තේ තිබුණත් අපේ වත්තේ ආයුධයි, රත්තරනුයි වළදාලා තියෙනවා කියලා 2017 අප්‍රේල් මාසේ 13 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය මැෂින් දාලා පරීක්‍ෂා කළා. (මෙටල් ඩිටෙක්ටර්) අඩි අටක් පොළොව යට තියෙන දේවල් මැෂිමට අහුවෙනවා කිව්වා.

එහෙනම් අඟල් හයක් යට තිබ්බ බෝම්බ දෙක එදා අහුවුණේ නැත්තේ ඇයි? මේක පොලිසියේ නිර්මාණයක්. බෝම්බ හම්බ වුණාට පස්සේ පුතාව දීපන් කියලා කිව්වා. පුතාව දෙන්න පුතා ගෙදර හිටියේ නෑ. පුතාගේ බෝම්බ තාත්තගේ වත්තේ වළදාන්න ඕන නෑනේ කියලා අපි පොලිසියට කිව්වා. පොලිසියට මේ බෝම්බ දෙක පුතාගේ වත්තේ වළදාන්න විදියක් නෑ එයාගේ නිවෙසේ කැමරා හයිකරලා තියෙන නිසා. නමුත් පුතාව පටලගන්න තමයි මේ පහත් වැඩේ කළේ.

ස්ථානාධිපති උදවු කරන හිච්චා කියලා කසිප්පු ජාවාරම්කාරයෙක් මේ පැත්තේ ඉන්නවා. ඒ මිනිහා කසිප්පු පෙරන්න වත්ත ඉල්ලුවා. මහත්තයා කිව්වා ඒවට මගේ ඉඩක් නෑ කියලා. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා මේ උගුල ඇටෙව්වා. හිච්චා වත්තේ ඉඳලා පැනලා යනවත් මිනිස්සු දැකලා තියෙනවා. අපි කිව්වා බෝම්බ අත්අඩංගුවට ගත්ත වෙලේ බෝම්බවල ඇඟිලි සලකුණු ගන්න කියලා. ඇඟිලි සලකුණු ගත්තේ නෑ. අපි කිව්වා පොලිස් බල්ලො දාන්න කියලා. දැම්මේ නෑ.

ලොකු නිලධාරීන්ට කිව්වට වැඩක් නෑ. පරීක්‍ෂණ පවත්වලා වාර්තා යට ගහගන්නවා. ලොකු මහත්වරු හම්බ වෙන්න ගියාම උඹලා පාතාලේ කියලා කෑ ගහනවා. ඕ.අයි.සී. කියනවා උඹලට පුළුවන් දෙයක් කරපල්ලා මම පොලිස්පතිගේ ඥාතියෙක්, මාව මෙතැනින් හොලවන්න තොපිට බෑ කියලා. පීඩාකාරී අවි පනතේදී සැකකරුවකු අත්අඩංගුවට ගන්න ක්‍රමවේදය මුළුමනින්ම උල්ලංඝනය කරලා තමයි මගේ මහත්තයා බොරුවට අත්අඩංගුවට අරගෙන හිරකරලා තියෙන්නේ” යනුවෙන් ඇය හඬමින් පැවැසුවාය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ ප්‍රියංකර හේවාපතිරණ මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසුවේය.
“මේ සිද්ධිය සම්බන්ධයෙන් තාම පරීක්‍ෂණ සිදුකරන නිසා මට ප්‍රකාශ දෙන්න බෑ. අපි පරීක්‍ෂණයක් පැවැත්වුවා. ඒකේ අවසන් ප්‍රතිඵල මට තවම ලැබිලා නෑ” යනුවෙන් ඒ මහතා පැවැසුවේය.