මැරුණ කෙනෙක් ජන්ද පොලේදී නැවත පන ලබයි – අද ජන්දෙන් හතර වටෙන් ඇහෙන්න රස කතා

812

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා තමන්ට ලැබී ඇති ඡන්ද පත්‍රිකාවේ “ අදාළ ඡන්ද හිමියා මියගොස් ඇති බව වාර්තා වී ඇත “ යනුවෙන් සටහන් කර තිබීම නිසා තමන් අපහසුතාවයට පත්වු බව මහනුවර උඩුනුවර අප්පල්ලාගොඩ ගම වෙලම්බඩ පදිංචි මොහමද් රාසික් මුහම්මද් නාසීර් මහතා කියයි.

තමන් වසර 7 ක් පමණ විදෙස් රැකියාවක නියුතුව සිට වසරකට පමණ පෙර නැවතත් මෙරටට පැමිණි ඇති බව ඔහු කීය.දැල්විටිය ජනපදයේ මහ/දෙනු විජය ලංකා කනිෂ්ඨ විද්‍යාලයේ අංක 2, ඡන්ද මධ්‍යස්ථානයට ගිය පසු එහිදි ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් බවත් ඔහු මියගොස් ඇති බව ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් පැවසු බවත් ඔහු පැවසීය.ඉන් පසු අදාළ ග්‍රාමසේවකවරයා වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමෙන් පසු නැවත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන් බවද ඔහු කීය.

ගාල්ල ප්‍රදේශයේ විවාහක යුවලක්ද සිය මංගල දිනයේ දී ඡන්දය ප්‍රකාශ කරන අයුරු අපට දක්නට ලැබුණි.මේ අතර සිය ශාරීරික අපහසුතා පවා නොතකමින් බොහෝ වැඩිහිටි පිරිස් සිය ඡන්දය භාවිත කරන අයුරුද දැකගත හැකි විය.

මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ සහ අළුත්ගම ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන වලදී සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානින් විසින් පොලීසියට සිදු කරන ලද දැනුම්දීමට අනුව අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.මෙහිදී ඡායාරූප ගැනීම සඳහා යොදා ගත් ජංගම දුරකථන ද පොලීසිය බාරයට ගෙන තිබේ.සැකකරුවන්ගෙන් එකත් අයෙකු අද (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයටත් අනෙක් අය 14 වනදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණඉදිරිපත් කිරීමට නියමිතය.පොලිසිය කළ විමසීමේදී ඔවුන් ඡායාරූප ගත්තේ ‘එෆ්බී දැමීමට‘ අවශ්‍ය නිසා යයි පවසා ඇත.

ඡන්දය භාවිත කිරීමට පුත්තලම – අට්ටවිල්ලුව ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය තමාගේ ඡන්දය ඒ වන විටත් භාවිත කර ඇතැයි ඡන්ද නිලධාරීන් පැවසූ බව අට්ටවිල්ලුවේ පදිංචි මේරි කැලිස්ටා (70) මහත්මිය පවසයි.මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසුවේ ඡන්දය විමසීම නිමා වීමට පෙර මේ සම්බන්ධයෙන් පැමිණිළි කර තිබුණේ නම් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉඩ තිබූ බවයි.තමාට අසාධාරණයක් සිදුවී ඇති බව කියමින් ඇය පුත්තලම පොලීසියට පැමිණිළි කර ඇත.

වීඩියෝ සහ ජායාරූප පහතින් නරඹන්න