සුව සෙත

ශ්‍රී ලංකාවේ පළමුවරට කුලියාපිටිය රෝහලේ දී විශ්මිත සැත්කමක්‌ සාර්ථකව සිදු කෙරේ

ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව සිදු කරන ට්‍රාන්ස්‌ඕරල් ලැපරොස්‌කොපික්‌ තයිරොඩෙක්‌ටම් (TRANSORAL LAPAROSCOPIC THYROIDECTOMY) නමැති සැත්කම ශ්‍රී ලංකාවේ පළමුවරට කුලියාපිටිය මූලික රෝහලේ දී ඊයේ (08 වැනිදා) සාර්ථකව සිදු කළ බව එම රෝහලේ උගුර, කන, නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රිස්‌නි සක්‌කාෆ් මහතා පැවසීය.

Loading...

දකුණු ආසියාවේ ස්‌ථාන කිහිපයක පමණක්‌ සිදුකර ඇති මෙම සැත්කම ඉන්දියාවේ පවා සිදුකර ඇත්තේ මීට මාස 10 කට ඉහතදී බවට තොරතුරු ඇති බවත්, ඒ අනුව අදාළ සැත්කම දකුණු ආසියාවේ සිව්වැනි වරට සිදුකළ අවස්‌ථාව මෙය බවට ඉතිහාසගත වන බවත් වෛද්‍ය රිස්‌නි මහතා පැවසීය.

මෙම සැත්කම සිදු කිරීමට රෝගීන් කැමති බවත්, අවම වේදනාවකින් හා අවම රුධිර වහනයකින් සිදුකළ හැකි මෙම සැත්කම මගින් ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල කැළැල් ඇති නොවන බවත් රිස්‌නි මහතා පැවසීය.

පුරා පැය 4 කට ආසන්න කාලයකදී අති සාර්ථක අයුරින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුන කොටස ඉවත් කිරීමට හැකිවූ බවත් වෛද්‍ය රිස්‌නි මහතා පැවසීය. තාක්‌ෂණික දෝෂ බොහොමයක්‌ නොතිබෙන්නට ඉතා සුළු වේලාවකින් අදාළ ශල්‍ය කර්මය සිදුකළ හැකි බවද ඔහු කීවේය.

කොළඹින් පිටත රෝහලකදී මෙම සැත්කම ශ්‍රී ලංකාවේ පළමුවරට කිරීමට හැකිවූයේ කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අයි. එස්‌. යද්දෙහිගේ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය තමන් පිළිබඳව විශ්වාසය තබා දැක්‌වූ සහාය නිසා බවද විශේෂඥ වෛද්‍ය රිස්‌නි සක්‌කාෆ් මහතා පැවසීය.

Loading...

Related Posts