අන් සැපතට තම ශ්‍රමයෙන් පාරවල් තනනා අපේ කාලයේ මිනිසකුගේ කතාව

393

මිනිසුන් විවිධාකාරය. ඒ වාගේම ඔවුන්ගේ අදහස් එකිනෙක පරස්පරය. යහපත් දෙයක් සිදුකර යන තැනකට පිනක් දහමක් කර ගත යුතු යැයි සිතනා මිනිසුන් මෙන්ම රුපියල් ශතවලට මිනිසුන් ඝාතනය කරන පාතාලයන්ද අද සමාජයේ බොහෝය. අත් පා යහතින් තිබුණත් ජීවත් වන්නට කළ හැකි සෑම පාපී ක්‍රියාවක්ම සිදු කරන පුද්ගලයන්ද බොහෝය. අනුන්ගේ බත්පත හෝ උදුරාගෙන කා තමාගේ කුසගින්න ගැන පමණක් සිතන මේ රටේ ඇතැම් කුහක මිනිසුන් අතර අන් සැපතට හේතු දී උදාරතර සතුටකින් හදවත පුරවා ගන්නා අයද සිටින බවද අප දැනගත යුතුය.

මෙතැන් පටන් කියැවෙන්නේද එවන් උදාරතර මිනිසකුගේ උදාරතර කාර්යයක් ගැන රටට කියන්නට අප ගිය ගමන ගැනය. ඔහු අපට මුණ ගැසුණේ ගල්ගමුව ප්‍රදේශයේ ගම්මානයකදීය. මඟතොට ගමන් ගන්නට ඇති එකම පාරත් ටිකෙන් ටික අබලන් වෙද්දී ඔහුගේ වියපත් දෑතින් එය යන්තම් හෝ පිළිසකර කර අන් අයට යහතින් ගමනක් යන්නට ඒ මඟ තනා දෙන්නට ඔහු ගන්නා මේ වෑයම ඇත්තෙන්ම අගය කළ යුතු නොවේදැයි මෙහි අවසන ඔබටම සිතෙනු ඇත.

ඔහු නමින් ඒ.එච්. කපුවාය. ජීවිතයේ සැදෑ සමය සිය බිරිය වූ සිරිමලතා සමඟ සතුටින් ගත කරමින් ඔහු මේ සිදු කරන්නේ මහා පුණ්‍යකර්මයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලෑව ගම්මානයේ ජීවත් වන කපුවා මහතා ඔහුගේ නිවෙස ඉදිරියෙන් දිවෙන බොරලු මාර්ගයේ ඇති විශාල අබලි වළවල් තම දෑතින් පස් දමා පුරවා අන් මිනිසුන්ගේ ගමනාගමනයට පහසුවක් තනා දෙන්නට මේ ගන්නා වෑයම ඇත්තෙන්ම උතුම් මිනිසුන්ගේ චරිතයකින් පමණක් දැකිය හැකි දෙයක් පමණය.

‘දැන් මහත්තයෝ මට අවුරුදු 60ක් වෙනවා. ඉතින් දැන් වයසයි කියලා පුටුවක ඉඳගෙන ඔහේ බලන් ඉන්නවට වඩා යන තැනට පිනක් දහමක් කරගන්න කාලේ තමා මේ. ඇත්තටම මම මේ වැඩේ කරන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. අවුරුදු දෙකක කාලය පුරාම මම මේ විදියට මේ පාරෙ තියෙන ලොකු වළවල් පොඩි වළවල් පස්වලින් වහලා සමතළා කරලා වළවල් ටික වහලා දානවා. අනේ ඉතින් මේවා කරන්න මට යාන වාහන, බැකෝ යන්ත්‍ර නෑ. මගේ විල්බැරෝවෙන් පස් ටික ටික අරන් ඇවිත් උදැල්ලෙන් තමා පුරවන්නෙ. ඒ විදියට දැනට මේ සියඹලෑව පාර කිලෝමීටර් දෙකක් විතර වළවල් වහලා තියෙනවා. තවත් ටික දුරක් තියෙනවා වහන්න. ඒ ටිකත් මම වෙලාව තියෙන විදියට කරන්න තමා හිතාගෙන ඉන්නේ.

මේ පාරේ ඉස්කෝලෙ ළමයි යනවා. ස්වාමින් වහන්සේලා යනවා. රජයේ රස්සාවලට යන අය යනවා. දරුවො ලැබෙන්න ඉන්න අම්මලා යනවා. ඉතින් ඒ අයට පහසුවෙන් මේ පාරේ ගමන් ගන්න පුළුවන් තත්ත්වෙක මේ පාර නෑ මහත්තයෝ. විශාල ලොකු වළවල් ගොඩක් තියෙනවා. වහින කාලෙට බෝට්ටු පදින්න පුළුවන්. මඩ ගොහුර. ඒ වගේම තමා ඉතින් පායන කාලෙටත් දූවිලිවලින් පිරෙනවා. ඉතින් මම හිතුවා නිකන් ඉන්න වෙලාවට මේ වළවල් ටික වහල දැම්මොත් හොඳයි කියලා. මගේ බිරියත් මට එයාට වෙලාව තියෙන විදියට උදවු කරනවා. ගේ ඉස්සරහින් ඇළක් කපනවා. ඒකේ පස් තමා මම මේවට යොදා ගන්නේ. අව්ව සැරයි කියලා නෑ ඉතින්. වෙලාව තිබුණොත් වළවල් ටික වහන එක තමා මගේ වැඩේ’ යැයි අප සමඟ තොරතුරු පැවැසූ කපුවා මහතා කියා සිටියේය.

සිය සෙනෙහබර සැමියාගේ මෙම උදාරතර කාර්යයට හැකි පමණින් හෝ උර දෙමින් ඔහුට සහයෝගය ලබා දෙන කපුවා මහතාගේ බිරිය වූ ඒ.එච්. සිරිමලතා මහත්මිය (59) අප සමඟ අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසිනි.

මහත්තයාට ඉතින් වෙලාව තියෙන විදියට මේ වැඩේ කරනවා. ගමේ අයට කිව්වම කියන්නෙ පාර කාපට් කරන නිසා ඕවා වහන්න ඕනෙ නෑ කියලා. ඒත් දැන් අවුරුදු 4ක් තිස්සේ පාර කාපට් කරනවා කියලා කියනවා. අද වෙනතුරු වුණේ නෑ. පාරෙ වළවල් නිසා මේ පාරෙ යන ලංගම බස් දෙකත් දැනට දවස් දෙක තුනක් වෙනකල්ම වෑකන්ද උඩින් දාලා තමා ගියේ. මහත්තයා වළවල් ටික පුරවලා දුන්නට පස්සේ තමා ඒ බස් දෙකත් ගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ. ලොකු වළවල් නිසා වාහනවලට යන්න අමාරුයි. මමත් වෙලාව තියෙන හැටියට පස් ටිකක් ඇදලා දීලා මහත්තයාට උදවු කරනවා.

ඉතින් අනෙක් අයට පහසුවෙන් යන්න මේ විදියට අපිට පුළුවන් දෙයක් කරන එක ඇත්තටම ලොකු පිනක්. මේ පාරෙ තියෙන වළවල්වල හැටියට බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් අරන් රෝහලට යන්න බයයි. මඟදී බබා ලැබෙනවා. දැන් මේ පාරෙ සෑහෙන දුරක් වළවල් ටික පුරවලා ඉවරයි. තව ටිකක් තියෙනවා පුරවන්න. එතකොට සම්පූර්ණයෙන්ම වගේ වළවල් තියෙන කොටස පස් දාලා පුරවලා නිසා වෙනදාට වඩා ටිකක් හරි පහසුවෙන් පාරෙ යන එන අයට යන්න එන්න පුළුවන්.

කපුවා මහතාගේ දෑතේ ශක්තියත් සිතේ වීර්යයත් එකට එකතු වී ගොඩනැඟුණු අධිෂ්ඨානය නිසා ඔහු මේ සමාජයට මහඟු සේවයක් කරමින් සිටියි. බලධාරීන්ට පවා මිනිසුන් ගැන තැකීමක් නැති මෙවන් යුගයක ඡන්දය ගසා කන්නට මැතිවරණ කාලයට ගමට එන දේශපාළුවන් අතර එවන් මිනිසෙක් අප අතර ජීවත් වීමද ඇත්තෙන්ම වාසනාවකි.

අප ඔහුගේ නිවස සොයා යන විට ගිනි ගහන සැඩ හිරුරැස් යට ඔහු සිටියේ බොරලු පාරේ වළවල්වලට පස් දමා ඒවා පුරවමිනි. තාරුණ්‍යයේ ජීවත්වන පුද්ගලයන්ට වඩා ඔහුගේ සිතේ ඇති ශක්තිය තුරුණු වියත් පරයා යන එකකි. ජීවිතයේ සැදෑ සමය ගෙවා දමමින් මිනිසුන්ගේ දෙපාවලට හව්හරණක් ගෙනදී ඉන් සැනසීමේ සුවයක් බලාපොරොත්තු වන මේ උදාර මිනිසාට මෙවන් කාර්යයන් තව තවත් සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.