චන්ද්‍රිකාගේ අක්‍රමවත් වැඩ නිසා පැය තුනකට ලංකාවේ ජනාධිපති වුන 20 හැවිරිදි තනූජා

2901

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිනිය ලෙස රාජ්‍ය උත්සවයක ප්‍රධාන ආරාධිතාව වී අගමැති ඇතුලු ප්‍රභූවරුන්ගේ සහ ත්‍රිවිධ හමුදාවන්ගේ සම්මාන ආචාර ලැබීමට භාග්‍ය උදාකර ගත් තරුණියක් ශ්‍රී ලංකාවේ සිටිනවා. නමුදු ඒ පිළිබදව බොහො දෙනා නොදනි.

ඇය නමින් තනුජා විතානග . උෟරාපොළ ප්‍රදේශයේ ඉපදුණු ඇය උෟරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවාය.

පාසලේ ශිෂ්‍ය නායිකාවද, ක්‍රීඩා නායිකාවද ඇය වූවාය.

වොලිබෝල් කණ්ඩායමේ නායිකාව වූ තනුජා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කනිෂ්ඨ කණ්ඩායමද නියෝජනය කළාය.

අංගම්පොර සටන් ශිල්පිනියකද වන තනුජා අවස්ථා ගණනාවක්ම දක්ෂම සටන් ශිල්පිනිය ලෙසද සම්මාන හිමිකර ගත්තාය.

තනුජාට ජාතික අංගම්පොර ශිල්පිනි හැඳුනුම්පතද හිමිය. ඇය ප්‍රභූ ආරක්ෂක නිලධාරිනියක ලෙසද රැකියාවට යන්නේ උසස් පෙළ අවසන් වසරේය.

එවකට ඇය 20 හැවිරිදි නව යොවුන් තරුණියකි. ඇගේ සේවය ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියටය.

2000 වසරේ ජනාධිපති ආරක්ෂක අංශයට එක්වුණු තනුජා රැකියාවේ හැම මොහොතම ජනාධිපතිනිය සමීපයේ රැඳෙමින් රැකියාව කළාය.

ඇය මුහුණ දුන් අපූරු අවස්ථාව උදා වූයේ 2003 වසරේදීය. එවර ජාතික දින උත්සවය පැවැත්වූයේ කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේදීය. නිදහස් උත්සවයේ පෙරහුරුව සතියක් පුරා පැවැත්විණි. පෙබරවාරි 3 වැනි දින පැවැත්වෙන්නේ අවසන් පෙරහුරුවය.

විදෙස් රාජතාන්ත්‍රික අමුත්තන් හැර සෙසු සියල්ලෝම ඊට සහභාගි වන අතර ජනපති, අගමැති, මැති ඇමැතිවරු ඊට එක්වෙති. උත්සවයේ එක් එක් අංග සඳහා ගතවන කාලය නිශ්චිත ලෙස නිගමනය කිරීමත් නියමිත න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු සිදුවන බවට අවසන් නිගමනයට එළැඹීමත් සිදුවන්නේ අවසන් පෙරහුරුවේදීය. සිදුවීම තනූජා විස්තර කර තිබුනේ මෙලෙසින් ,

“ඔය සිදුවීම වෙද්දී මට වයස 23යි. මම පාසල් ජීවිතය අත්හරිනවත් එක්කමයි ප්‍රභූ ආරක්ෂක සේවයට ඇතුළත් වුණේ. මම හුඟක් ස්පෝට්ස්වලට කැමැති නිසා මට ආරක්ෂක අංශයක කටයුතු කිරීම අසීරු වුණේ නැහැ. පාසල් ජීවිතයේ කෙළිලොල්කම මගෙන් අෑත් වෙලා තිබුණෙත් නැහැ. කවදත් මම ෆිට් එකට ලස්සනට අඳින්න ගොඩක් කැමැතියි. මැඩම් එක්ක රාජකාරි ගමන්වලදී මම හැමදාමත් ඇන්දේ සාරිය.

ඔය කියන දවස මට හොඳට මතකයි. උදේම අපි රාජකාරියට සූදානම්ව කොටුවෙ ජනාධිපති මන්දිරයට ඇවිත් හිටියෙ. මැඩම් යද්දි බොහෝවිට මමත් මැඩම් එක්ක කාරෙකේ යනව. නැත්නම් පී.එස්.ඩී. වාහනයක ගිහින් මැඩම්ගෙ ආරක්ෂාවට අවශ්‍ය දේ කරනව. එදා නියමිතව තිබුණෙ නිදහස් උත්සවයේ අවසන් පෙරහුරුව.

අපි සූදානමින් හිටියෙ ටොරින්ටන් නිදහස් චතුරස්‍රයට යන්න. අපි දැන හිටියා හරියටම නියමිත තත්පරේට අපි ප්‍රසිඩන්ට් හවුස් එකෙන් පිටත් විය යුතු බව. අපි හිටියෙ මැඩම් පහළට එනකන්. ඒත් මැඩම් ආවෙ නැහැ. එක පාරටම අපේ සර්, කෙනෙක් දුවගෙන ඇවිත් කිව්ව.

‘කෝ තනුජා ඉක්මනට වෙහිකල් එකට නඟින්න පිටත්වෙන්න හදන්නෙ’ කියලා.

එතකොටත් ස්කොඩ් එක රෙඩි. මැඩම්ගෙ කාරෙක පෝටිකෝ එකේ නතර කරලයි තිබුණෙ. මම කාරෙක ළඟට ගියා.
‘සර් මට මොනවද කරන්න තියෙන්නෙ’ කියල ඇහුවා.

‘ඔයාට මොනවත් කරන්න නැහැ. මැඩම් ඉන්නව වගේ ඉන්න තියෙන්නෙ’ කිව්වා.

මම කාර් එකේ පිටුපස සීට් එකේ වාඩි වුණා. චන්ද්‍රිකා මැඩම්ගෙ පර්සනල් සිකියුරිටි ඩැනිසර් ඉදිරි අසුනේ වාඩි වුණා. රියැදුරු සමඟ අපි තුන්දෙනා පිටත් වුණා. නිදහස් මාවතේදී අපට ඉදිරිපසින් අශ්වාරෝහක භට කණ්ඩායම ගමන් කළා. ඒ වනවිට එක් එක් නියමිත වේලාවන් අනුව අගමැති දක්වා සියලුම රජයේ නිලයන් උත්සව භූමියට සැපත්ව හිටියා.

ඉතිරිව තිබුණේ ජනාධිපතිනියගේ සම්ප්‍රාප්තිය. නිදහස් චතුරස්‍රය ඉදිරිපිට ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටිය පැත්තේ දිගටම හට් ගහලා අමුත්තන් අසුන් ගෙන සිටියා. රථ පෙළ නැවැත්වූයේ ඉහළට නඟින පියගැට පෙළ අසල. එහි පසෙක රතු පලස් එලූ විශේෂ පීඨිකාවක් ඉදිකොට තිබුණා. සම්මාන මුරය
පිළිගන්නත් ජාතිය අමතන්නත් එම පීඨිකාව යොදා ගත්තා.

යුද හමුදා යතුරුපැදි හා පොලිස් අශ්වාරෝහක කණ්ඩායම ඉදිරියට යද්දී ජනාධිපතිනියගෙ නිල රථය පිය ගැට පෙළ අසල නතර කළා. සෙරමෝනියල් කිට් එකකින් සැරසුණු හමුදා නිලධාරියකු ‍ෙදාර ඇරියා. මම අමුත්තක් නැතිව කාර් එකෙන් බැස්සා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අනතුරුව මැති ඇමැතිවරුත් මාව පිළිගත්තා.

ඒත් එක්කම ජනාධිපතිනියගේ සම්ප්‍රාප්තිය සැල කෙරෙන හොරණෑ වාදනය පැවැත්වීමෙන් පසු මම රතු පලස මතින් පියගැට පෙළ නැඟ ජාතික ධජය ඔසවන කුඹ ගස අසල සිට ගත්තා. ඉන්පසු මඟුල් බෙර සහ සක් හඬ මධ්‍යයේ මා ජාතික ධජය එසවූවා.

මට හොඳට මතකයි නිදහස් චතුරශ්‍රයේ කොඩි ගස ගොඩක් උසයි. හැඬල් එකකින් අල්ලලා වීල් එකක් කරකවන්නයි තිබුණේ. ඊට ටිකක් වෙලා ගතවුණා. ඉන් අනතුරුව කොළඹ විශාඛා, සිරිමාවෝ, දේවි බාලිකා, කෝට්ටේ ජනාධිපති, ශාන්ත බි්‍රජට් වගේ විදුහල්වල ළමයි ජාතික ගීය ගායනා කළා. මට අපේ පාසල මතක් වුණා. මමත් ඔවුන් සමඟ ජාතික ගීය ගායනා කළා.

මාව විශේෂ පීඨිකාව වෙත කැඳවා ගෙන යන්න යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල, නාවික හමුදාපති රියර් අද්මිරාල් දයා සඳගිරි, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා සහ පොලිස්පති ටී. ආනන්ද රාජා මහත්වරු පැමිණියා. ඔවුන් මට සැලියුට් කළා. ඔවුන් කිසිවකුට ජනාධිපතිනිය නැහැ කියලා අමුත්තක් දැනුණෙ නැහැ. සමහර විට ජනාධිපති කාර්යාලෙ ලේකම්වරියක් නැත්නම් අමාත්‍යාංශ ලේකම්වරියක් කියල හිතන්න ඇති.

ඒ හැරෙන්න වෙනත් කිසිවකු ජනාධිපතිනිය නොපැමිණි බව දැන සිටියේ නැහැ. කවුරුවත් හිතන්න නෑ අවුරුදු 23ක පොඩි කෙල්ලෙක් පැය කීපයකට ලංකාවෙ ජනාධිපති වෙලා කියල. මම විශේෂ පීඨිකාවේ රතු පලස මත සිට ගත්තා. මට පිටුපසින් ත්‍රිවිධ හමුදාපතිවරුත් පොලිස්පතිතුමාත් සීරුවෙන් හිටියා. ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය දැක්වීමෙන් පසු ජාතිය අමතන්න මම පෝඩියම් එක ඉදිරියේ සිට ගත්තා. ඒක හරි පුදුමයි. දහස් ගණනක් ඉදිරියේ සිටියත් පුදුම නිහැඩියාවක් තිබුණේ.

ඇත්තම කියනව නම් මටත් ඒ අවස්ථාව එච්චර ගානක් ගියේ නැහැ. එකක් මම ගොඩක් තරුණ වියේ නිසා. අනික මට මැඩම් එක්කම අවුරුදු තුනක් වැඩ කරල මේ වගේ දේවල් හුරු වෙලා සාමාන්‍ය වෙලා තිබුණ නිසා. නමුත් හුඟක් දෙනෙක් පුදුම වුණෙත් කලබල වුණෙත් පසුදින ටයිම්ස් පත්තරේ ඡායාරූප ශිල්පියෙක් පින්තූරයක් ගෙන පළ කිරීම නිසා.

අපි පැයක් පමණ ආචාර පෙළපාළිවල සම්මානයට මුහුණ දුන්නා. සම්මාන මුරයන් මට යොමු වෙද්දී මම සැබෑ ජනාධිපතිනිය වගේ සීරුවෙන් සිටියා. පෙබරවාරි 5-6 දවස්වල පත්තර පිස්සු වැටිල වාගෙ මාව හොයන්න ගත්තා. කෝල් එනවා ඉවරයක් නැහැ. මම කවුද? කොහොමද මැඩම් ළඟට ආවෙ. මගේ වෘත්තිය කුමක්ද?

ජනාධිපතිනි විදියට ඇට් කරද්දි මට මොනවද හිතුණෙ. ආදිය මගෙන් පැය 24ම ප්‍රශ්න කරන්න ගත්තා. මට එන කෝල් නොදෙන්න අපේ ඔෆිස් එක තීරණය කළා. ඒ තරම් කලබලයක් ඇතිවුණා. මට අදත් මේ සිදුවීම අමුත්තක් හැටියට දැනෙන්නේ නැහැ.’