කතිරය ගැසීම තරම් ලේසි පහසු නැති නිල ඡන්ද පත්‍රිකා නිවසට බෙදීම ගැනයි මේ සටහන

283

සර්වජන ඡන්ද බලය රටට ලැබුණේ 1931 වර්ෂයේදීය. එදා මැතිවරණ ක්‍රමය තුළ අදට වඩා විචිත්‍ර බවක් තිබුණු බැවින්. මැතිවරණ සටන කෙතරම් උණුසුම් වුවද එහි සාහිත්‍ය රසය කාව්‍ය රසය මෙන්ම අර්ථවත් දේශපාලන සංවාද පිරී තිබුණි. අලුත් අවුරුද්දට කොවුල් නද මෙන් මැතිවරණයේ උණුසුම ගමට තදින් දැනෙන්නට පටන් ගන්නේ ඡන්ද කොළය ලෙස පොදුවේ බොහෝ අය ව්‍යවහාර කරන නිල ඡන්ද පත්‍රිකාව තැපැල් මහත්තයා අතේ ගමේ ගෙදරට පැමිණි විටය. එදා ගමේ වැඩිහිටියන් පමණක් නොව ළමා ළපටීන්ද ඡන්ද කොළය ගෙදරට එන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි.

එදා සිට මැතිවරණ දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව අතර පැවැතියේ ගහට පොත්ත මෙන් මනා සම්බන්ධයකි. තාක්ෂණය , සමාජය මෙන්ම ඡන්ද ක්‍රමයද වෙනස් වීම්වලට ලක් වුවද මේ දෙපාර්ශ්වය අතර සබඳතාවය දිනෙන් දින තර වූවා මිස බිඳී ගියේ නැත. මේ සබඳතාවයට මැතිවරණ දෙපාර්තමේන්තුව අහෝසි වී මැතිවරණ කොමිසම බල ගැන් වූ මේ කාලයේ කියා වෙනසක් සිදුව නැත. කලකට පසු කොට්ඨාස ක්‍රමයට මැතිවරණයක් පවත්වන අදත් මැතිවරණ කාර්ය භාරය වෙත මැතිවරණ කොමිසම සමග කරට කර උර දී සිටින්නේ තැපැල් දෙපාර්තමේන්තුවයි.

නිල ඡන්ද පත්‍රිකා බෙදීම සරළ දෙයක් විදිහට බාහිරව බලන අපට පෙනුනද එම කාර්ය අතිශය සංකීර්ණ සහ වගකීමෙන් ඉටු කළ යුතු කාර්යකි. ජනාවාසවලින් පිරී ගිය අගනුවරද කඳු හෙල් බහුල කඳුකරයේද වන සතුන් ගහන වන්නි වන පෙතේද සිටින කෝටි එක හමාරක ඡන්ද දායකයන්ගෙ නිවාස වෙත නිල ඡන්ද පත්‍රිකාව ලබා දීම දුෂ්කර වැඩකි.

එහෙත් මෙම දුෂ්කර කටයුත්ත ඉතාමත් සාර්ථකව ඉටු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිවරයා ගේ සිට පහළ තලයේ තැපැල් බෙදන්නා දක්වා සියලු කාර්ය මණ්ඩලය ඇපකැප වී සිටිති.මැතිවරණ කොමිෂන් සභාව විසින් මුද්‍රණය කරන මෙම නිල ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීමේ සිට එය ඡන්ද දායකයා අතට පත් කරන තුරු වගකීම පැවරි ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුව වෙතය. අද යම් පහසුකම් සහිතව මේ කාර්ය ඉටු කළද 50, 60 ,70 දශකවල රටේ තිබූ දුෂ්කර මාර්ග තත්ත්වය සහ ගම් ඇතුළත පිවිසුම් මාර්ග නොමැති කම නිසා තැපැල් කරුවන් අතිශය දුෂ්කරතාවට පත්වූ අවස්ථා එමටය.

අද පාපැදියෙන් යතුරු පැදියෙන් තැපැල්කරු තම රාජකාරිය පහසුකර ගත්තද එදා කඳුකරයේ සහ වන මැද තිබු බොහෝ තැන්වලට තැපැල්කරුට යාමට සිදු වූයේ පාගමනෙනි නැතිනම් ගැලකිනි. නිල ඡන්ද පත්‍රිකා වැනි වැදගත් දේ ආරක්ෂිතව ප්‍රවාහනය කරමින් රාජකාරී ඉටු කිරීම අතුරේ යාම වැනි සීරුවෙන් කළ යුතු දෙයකි.

මේ අසීරු කාර්ය සීරුවට සහ වගකීමෙන් යුතුව කරන්නේ කෙසේද යන්න ගැන අප තැපැල්පතිවරයාගෙන් විමසීමක් කළෙමු.“ අපි මේ රාජකාරිය වගකීමක් විදිහට විතරක් නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් විදිහටයි හිතන්නේ. අපිට කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඉහළ තැනක් තියෙන්නේ. ඡන්ද පවත්වන්න සුහඳව බලය හුවමාරු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම ගැන අපට දෙපාර්තමේන්තුවක් විදිහට සතුටු වෙන්න පුළුවන්.

මැතිවරණ කොමිෂන් සභාවෙන් පසු මැතිවරණයකට වැඩිම කැපවීම සේවාව සපයන්නේ අපි.“ මේ වගකීම අවුරුදු පනහකට වැඩි කාලයක සිට අපි දෙපාර්තමේන්තුවක් විදිහට මේ නිල ඡන්ද පත්‍රිකා බෙදන කාර්යයට අත ගහලා තියෙනවා. ඇත්තෙන්ම අපේ දෙපාර්තමේන්තුවේ තැපැල් බෙදන්නන් සතියක් ඇතුළත රටේ තියෙන හැම ගෙදරකටම යනවා. මේක ලෙහෙසි දෙයක් නොවෙයි. අනෙක ඉහළ වගකීමක් එක්ක තමයි මේ දේ කරන්නේ. අද එතරම් ආරක්ෂාව ගැන ගැටලු නැතත් කලබලකාරී වාතාවරණයක් තිබු කාලවල අනතුරු අතේ තියාගෙන තමයි අපේ තැපැල්කරුවන් වැඩ කළේ. මම මේ දේ කීවෙ ඒ අයගෙ ඉහළ කැපවීම ගැන වර්තමාන තැපැල්පතිවරයා විදිහට අගය කිරීමක් ලබා දීමටයි.

“ මේ කාර්ය සඳහා වෙන් වූ නිලධාරින් පිරිසක් ඉන්නවාද.? අප තැපැල්පතිවරයාගෙන් අතුරු ප්‍රශ්නයක් විමසුවෙමු.“ මේක ටීම් වර්ක් එකක් ඒ නිසා තමයි නිල ඡන්ද පත්‍රිකා බෙදි‍්ම මෙතරම් සාර්ථකවත් ඉක්මනටත් කරන්න පුළුවන් කම ලැබෙන්නේ. මේ කාර්ය සඳහා ප්‍රධාන තැපැල් කන්තෝරුව විතරක් නොවෙයි රට පුරා ප්‍රධාන තැපැල් කන්තෝරුත් සම්බන්ධ කර ගන්නවා. අනෙක මේ බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුවට විතරයි කරන්න පුළුවන් කම වගේම පලපුරුද්ද තියෙන්නේ.“ “ මේ මහා වගකීම මග හැරුණුඅවස්ථා එහෙම නැද්ද.? “අප තවත් ප්‍රශ්නයක් තැපැල්පතිතුමා වෙත යොමු කළෙමු. “ නැහැ අපේ නිලධාරින් සියලු දෙනා ඉතාමත් දක්ෂ විදිහටත් වෘත්ති‍්යමය විදිහටත් වැඩ කරන පිරිසක් ඒ නිසා ඡන්ද පත්‍රිකා බෙදීම ගැන චෝදනා එල්ල වන්නේ ඉතාමත් අඩුවෙන්.

වැඩිම නිල ඡන්ද පත්‍රිකා ප්‍රමාණයක් බෙදා හරින තැපැල් මධ්‍යස්ථානය ලෙස හඳුන්වනු ලබන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවට අනුබද්ධව ඇති බැස්ටියන් මාවතේ පාවෙන වෙළෙඳසල් අසල පැරැණි ගොඩනැගිල්ලේ ඇති තැපැල් කාර්යාලයයි. මෙය තැපැල් කාර්යාලයකට වඩා තැපැල් මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වා දීම සාධාරණය. කොළඹ නගරයේ ඇති සියලු නිවාසවලට නිල ඡන්ද පත්‍රිකා බෙදන්නේ මෙතැනිනි. අප එතැනට යන විට පෙරවරු 9.00 ඉක්මවා තිබුණද එහි රාජකාරි ඉතාමත් වෙගවත් සහ කාර්යක්ෂම ලෙස සිදු වෙමින් තිබුණි. මේ දිනවල මෙහි ප්‍රධානම රාජකාරිය බවට පත්ව තිබෙන්නේ කොළඹට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමය. මෙහි කාර්ය භාර නිලධාරියා ලෙස රාජකාරි කරන්නේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතාය. “ කොළඹ නිල ඡන්ද පත්‍රිකා බෙදීම් ලේසි දෙයක් නෙවෙයි.“ පුෂ්පකුමාර මහතාට අනුව පත්‍රිකා බෙදීම දුෂ්කරම කටයුත්ත කොළඹ 14 වැනි ප්‍රදේශවල නිල ඡන්ද පත්‍රිකා බෙදීමය.

නිල ජන්ද පත්‍රිකා බෙදීම මෙම ප්‍රදේශවල දුෂ්කර වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ප්‍රදේශවල ඇති අධික ජනාවාස සහ වෙනත් සංස්කෘතික කරුණුය. “ අපි මේ පැතිවල ඡන්ද පත්‍රිකා බෙදන්න ලොකු මහන්සියක් ගන්නවා.සමහර තැන්වලදී විවිධ බාධා එල්ල වෙනවා. ඒ විදිහේ බාධා ඇති තැන්වල පොලිසියේ ආරක්ෂාව අපි ලබා ගන්නවා..“ අපි මැදිහත් වෙන්නෙ කොළඹ නගරයේ රාජකාරියට විතරයි. කොළඹින් පිට තැන්වල ඇති ප්‍රධාන තැපැල් කන්තෝරුත් මේ කාර්ය ඉටු කරනවා.එතකොට නිල ඡන්ද පත්‍රිකා තැපෑලට ලැබෙන්නේ කොහොමද.? අප පුෂ්පකුමාර මහතාගෙන් විමසුවෙමු.

“ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නිලධාරීන් ඉන්නවා ඔවුන් අපට භාර දෙන පත්‍රිකා අප ඉතාමත් ආරක්ෂිතව අදාල නිවෙස්වලටම ගිහින් දෙනවා. අපි නිතරම උත්සාහ කරන්නේ ගෙදර ගෘහ මුලිකයාටම නිල ඡන්ද පත්‍රිකාව භාර දෙන්න. එහෙම නොවුනොත් අවම වශයෙන් ඡන්ද ලේඛණයේ සිටින කෙනෙකුට හෝ ඡන්ද පත්‍රිකාව භාර දෙනවා. මෙහෙම බාර දෙද්දි අයිඩෙන්ටි කාඩ් නොම්මරය සහ නම අපේ නිලධාරින් සටහන් කර ගන්නවා.

අප ඉන්පසු සොයා ගියේ ඡන්ද පත්‍රිකා බෙදා හරින තැපැල් කරුවෙකි. ඔහු අප සුනිල් ලෙස හඳුන්වමු. “ මේ වැඩේ අමාරුම වැඩේ කරන්නෙ අපි කාර්යාලයේ ඉඳන් කරන දෙයක් වගේ නොවෙයි ලියුම් බෙදන එකට වඩා ඡන්ද පත්‍රිකා බෙදන එක අමාරුයි.. උතුරු කොළඹ වගේ තැන්වල සමහර තැන්වලට යන්න බැහැ ඡන්ද පත්‍රිකා බෙදන එකට බාධා කරන අය ඉන්නවා අපි මෙහෙම තැන්වලට යන්නෙ බයෙන්..තවත් තැන්වලට බයිසිකලෙන් යන්නත් බැහැ කිලෝ මීටර් දෙක තුන පයින් යන අවස්ථා තියෙනවා.

තට්ටු ගෙවල්වල ගෙවල් හය හත්සියයක් තියෙනවා මේ තැන්වලට ගියාම දවසක් යනවා..වැඩ ඉවර කරන්න.සුනිල් කියන විදිහට ඔවුනට ලොකුම බාධාව එල්ල වන්නේ සුනඛයන්ගෙනි.“ කොළඹ ඇතුළෙ තියෙන සමහර වතුවල වෙනම රාජ්‍ය වගේ තැන් තියෙනවා . ඒ අය විවිධ විෂමාචාරවල නියැලෙනවා. ඒ අය ආරක්ෂාවට වතුවල බල්ලො ඇති කරනවා. උන් වත්තෙ අයට කන්නෙ නැහැ පිටින් යන අයට කනවා. සමහර විට නිතරම වත්තට යන පෝස්මන්ට උන් කන්නෙ නැහැ අඳුනන නිසා. ඒත් අලුතින් කෙනෙක් ගියොත් අනිවාර්යෙන්ම කනවා. ගොඩක් වෙලාවට ඡන්ද පත්‍රිකා බෙදන්න යන්නෙ සුපුරුදු කෙනා නොවෙයි. ඒ නිසා ඒ අයට විවිධ අකරතැබ්බවලට ලක් වෙන්න වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමටනම් වැඩි මිලක් ගෙවිය යුතු බවට කියමනක් තිබේ. මැතිවරණයට පෙර ඡන්ද පත්‍රිකා බෙදීමේ කාර්ය සඳහා ලොකු මිලක් සහ වෙහෙසක් දැරීමට සිදුව තිබේ එය වෙහෙසක් සහ මිලක් ගෙවිය යුතු දෙයක් වුවද එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් ගුණදායක සහ යහපත් දෙයක් ලෙස සඳහන් කළ යුතුය.