වැඩිම කාන්තාවන් පිරිසක් මැනේජර්ලා කරපු ලෝකේ සුපිරි කෝටිපතියෙක් සමුගනියි

877

ඉකියා හෙවත් අයි. කේ. ඊ. ඒ. නමැති දැවැන්ත සමාගමේ හිමිකරු 91 හැවිරිදි සුපිරි කෝටිපති ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය. ගෘග භාණ්‌ඩ අලෙවි කරන ලොව විශාලතම සමාගම ඔහුගේ සමාගමයි. කැම්ප්‍රැඩ් ලොව සිව්වැනි කෝටිපතියා වේ.

17 හැවිරිදි වියේදී සිය සමාගම ස්‌වීඩනයේදී ආරම්භ කළ කැම්ප්‍රැඩ් පසුව එහි ශාඛා ස්‌විස්‌ටර්ලන්තයේ පිහිටවනු ලැබීය. මෙම යෝධ සමාගම අද පාලනය කරන්නේ ඔහුගේ පුතුන් තිදෙනායි.

ස්‌වීඩනයේ අධික බදු නිසා ස්‌විස්‌ටර්ලන්තයට පැමිණි කැම්ප්‍රැඩ් ස්‌විස්‌ නගර රැසක සිය සමාගම් ආරම්භ කරනු ලැබීය. 2011 දී ඔහුගේ බිරිය වූ මාගරිටා මියයැමෙන් පසු කැම්ප්‍රැඩ් යළි ස්‌වීඩනයට පැමිණියේය.

සුපිරි කෝටිපතියකු වුවත් ඔහු ගමන්බිමන් ගියේ ඊසිජෙට්‌ නමැති ඉතා ලාභ ගුවන් සේවයෙනි. අධික වටිනාකමක්‌ ඇති සුපිරි මෝටර් රථ භාවිත නොකළ ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් වසර 15 ක්‌ පැරැණි වොල්වෝ රථය සිය රථය ලෙස දිගටම භාවිත කළේය. ලන්ඩන් නුවර සංචාරයකට පැමිණි අවස්‌ථාවේ ඔහු කුලී රථ සහ උමං දුම්රිය භාවිත කරනු ලැබීය.

වරක්‌ හොඳම ව්‍යාපාරිකයා ලෙස තේරීපත්වූ කැම්ප්‍රෑඩ් ඊට හිමි සම්මානය ලබා ගැනීමට බස්‌ රියකින් උත්සව ශාලාව අසළට පැමිණි අවස්‌ථාවේ ආරක්‍ෂක භටයෝ ඔහුට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැත. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට සහාය දැක්‌වීම ගැන ඔහුට චෝදනා එල්ල විය. තමා එදා නාසි ජර්මනියට සහාය දැක්‌වීම ගැන සමාව යදින බවද ඔහු පසුව පළකළේය.

තමා කුලී රථවලින් ගමන් කළේ අනිකුත් අයට ආදර්ශයක්‌ දැක්‌වීමට බව පැවසූ කැම්ප්‍රෑඩ් නෙදර්ලන්තයේදී හිසකේ කැපීමට යුරෝ 22 ක්‌ අයකරන නිසා තමා වියට්‌නාමයට ගොස්‌ කොණ්‌ඩය කැපූ බව සඳහන් කළේය. ඉන්ග්මාර් කැම්ප්‍රැඩ්ගේ සාප්පුවල කළමනාකරුවන් ලෙස අඩක්‌ම සේවය කරන්නේ කාන්තාවන්ය.