පිටි අනලා තෙලේ බැදලා සෝස් දාලා රසකාරක පුරවලා දරුවන්ට මරණය කවන්න එපා

676

අපිට ලංකාවේදී හමු වන්නේ ළමයින් කන්න ආසා කරන දේවල් පමණක් කන්නට දෙන එක ආදරයට යැයි වරදවා වටහාගෙන ඉන්නා වැඩිහිටියන්ය. මෙරට පාසල් බොහොමයකම පාහේ අලෙවි කෙරෙන්නේද ළමයින් ආසා කරන කෑම බීමය. ලංකාවේ පාසල් බොහොමයකම ලෝක ළමා දිනය ආදී විවිධ සැමරුම් සහ උත්සව අවස්ථා පැවැත්වෙයි. එවන් අවස්ථාවලදී ළමයින්ට කෙරෙන සංග්‍රහ කටයුතුවලදී ගුරුවරුන් සහ මවුපියන් විසින් ළමයින්ට කන්න බොන්න දෙන්නේ ප්‍රයිඩ් රයිස්, ක්ෂණික කිරි පැකට්, රෝල්ස්, කේක්, අයිස් ක්‍රීම්, සිසිල් බීම ආදිය ය. ළමයින් ආසා කරන්නේ මොනවාදැයි ළමයින්ගෙන් ඇසුවහොත් අපිට හමුවන්නේ පහත දැක්වෙන ලැයිස්තුවට සමාන වට්ටෝරුවක්ය.

මේද අධික, ලුණු අධික හා සීනි සහිත ආහාර හා තිරිඟු පිටිවලින් සකස් කරන ලද ආහාර, ප්‍රයිඩ් රයිස්, කොත්තු, පැස්ටා, සොසේජස්, පේස්ටි්‍ර වර්ග, චොකලට් වර්ග හා චොකලට් දවටන ලද ආහාර, ඩෝනට්ස්, ටොෆි වර්ග, රස ගැන්වූ සෝඩා වර්ග, සිරප් වර්ග, අයිස් පැකට්, අයිස් පලම්, පලතුරු රස ගැන්වූ බීම වර්ග, මීට්බෝල්ස්, සුප් කැට, ටිපිටිප්, බයිට් පැකට් වැනි අධික ලුණු රස ගැන්වූ ආහාර, පීසා, මාගරින් වර්ග, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, රෝල්ස්, කට්ලට් ආදිය.

නිසරු ආහාර හා හිස් ආහාර ,රස කාරක, වර්ණක ආදී රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර වැනි බටහිර පන්නයේ ආහාරයන්ය. ලංකාවේ ටීවී චැනල්වල පෙන්වන්නෙත් මේවා ආහාරයට ගත් විට රස නහර පිනා යන ආකාරය ය. ලංකාවේ වැඩිහිටියන් ළමයින් ඉන්න ගෙදරකට ගෙනියන්නෙත් මේ ජාතියේ කෑම බීමය. ඉදින් ඔවුන් තරුණ වියට එළැඹුණු විටත් ඔවුන්ගේ ආහාර සංස්කෘතිය මුළුමනින්ම සකස් කෙරෙනුයේ අධි පරිභෝජනය පරමාදර්ශය කරගත් වෙළෙඳපොළ බලවේග විසින් උත්කර්ෂයට නංවන ලද ඉහත කී වසඟකාරී ආහාර පානාදියෙන්ය.

මෙකී පොෂ් ආහාර සංස්කෘතිය විසින් ලාංකේය මිනිසුන් සහ ගැහැනුන් මත ඇති කර ඇති ප්‍රමෝදය කොතරම් බලවත් දැයි කිවහොත් ඒවාට එරෙහිව අදහස් දක්වන්නන්ට ඇතැම් පාසල්වලදී පවා එල්ල වනුයේ බරපතළ ගැරහුම්, අපහාසයන්ය.

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ආපනශාලාවෙන් මෙකී ආහාර ඉවත් කොට සෞඛ්‍යයට හිතකර ආහාර පමණක් ආපනශාලාවල අලෙවි කරන්නට සැලැස්වීම අරබයා කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, විද්‍යාලයේ විදුහල්පතිනිය සහ පෝෂණ කමිටුවද කැටුව ආරම්භ කළ සද් ක්‍රියාවට බරපතළ විවේචන ඇතැම් මවුපියන්ගෙන් එල්ල විය. ඒ නිසා ආරම්භක ගුණයෙන් යුතුව වැඩසටහන පවත්වාගෙන යන්නට අපහසු වූ අයුරු අපි දුටුවෙමු. සෞඛ්‍යයට හිතකර ආහාර පානාදියට ගැරහූ ඇතැම් මවුපියන් ඒවා හඳුන්වා දී තිබුණේ ගොඩේ කෑම ලෙසය. මේ ගොඩේ කෑම අපේ ළමයින් කන්නේ නැති නිසා ළමයින් බඩගින්නේ තියන වැඩක් විදියට මේ වැඩසටහනට ඇතැම් මවුපියන් ගරහා තිබිණි.

කොළඹ තවත් ප්‍රධාන පිරිමි පාසලක දරුවන් සඳහා දේශීය කැඳ වර්ග සහ පෝෂණීය ආහාර ලබාදීමේ වැඩසටහනක් කලකට පෙර ක්‍රියාත්මක විය. එම වැඩසටහන ආරම්භ වීමට මත්තෙන් දිනකට එම විද්‍යාලයේ ආපනශාලාවල රෝල්ස් පමණක් 3,000ක් පමණ අලෙවි වූයේය. වැඩසටහන කොතරම් යහපත් වීද යත් ටික කාලයකදී රෝල්ස් අලෙවිය 60කට පමණ පහළ බැස තිබිණි. එහෙත් මෙම වැඩසටහනට විරුද්ධ වූවන් අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොළ කැඳයා යැයි උපහාස කළහ. ඔහු පාසලින් මාරු වුණේය. දැන් මෙම විද්‍යාල පරිශ්‍රයට ඉතාමත් සමීපයෙන් පිහිටුවූ පොෂ් ආපනශාලාවකි. පාසල් දරුවන් මෙන්ම, ගුරුවරු සහ මවුපියෝද රිසි රිසි සේ පොෂ් කෑම බීම වළඳති.

අද දවසේදී ලෝක ව්‍යාප්ත කර ඇති බටහිර සහ බටහිර සරණ ගිය වෙළෙඳපොළ බලවේගවලට නතු වූ ආහාර බොහොමයක් ඇත්ත ආහාර නොවන බවත්, ඒවා මනුවගට අත් කර දෙන්නේ මරණීය ශෝකාන්තයන් බවත් සනාථ කරන්නේ අප නොව බටහිර විද්‍යාඥයන්මය. ලෝකයේ වැඩිම පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හෘද රෝගීන් හමු වන්නේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය ආදී රටවලිනි. කොටින්ම බටහිර රටවල නිවෙස්හි ඇති කරනු ලබන සුරතල් සතුන් පවා පිළිකාවෙන්, දියවැඩියාවෙන් මිය යමින් සිටී. බටහිර මොඩලයේ ආහාරවලටවත්, ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාවටත් ඔවුන්ට බෝ නොවන රෝගවලින් ගැලවීමක් අත්කර දෙන්නට නොහැකි වී ඇත.

වර්තමාන මවුපියන් බොහෝ දෙනකුට තම දරුවන්ගේ සොහොන් කොත් අසල පහන් දල්වන්නට සිදුවෙමින් තිබීම නිසා ඔවුන් ඉතිහාසයේ අන් කවරදාකවත් මේ මහ පොළොව මත නොසිටි අවාසනාවන්තම මනුෂ්‍ය පරම්පරාව බවට පත් වෙමින් සිටින බව, මහා බි්‍රතාන්‍යයේ ඇල්ඩර් හේ ලිවර්පූල් ළමා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටිව් රයන් වරෙක ප්‍රකාශ කර තිබිණි. මේ, බටහිරයන් විසින් උඩ දමන ලද ඊනියා හරිත විප්ලවයෙන් බිහි කළ ආහාර සහ ඇමෙරිකන් සරණ ගිය ක්ෂණික කෘත්‍රිමව සකස් කළ ආහාර වැඩියෙන්ම අනුභව කරනු ලබන ජනතාවට සිදු වී තිබෙන සන්තෑසියේ තරමය.

අපේ රටේ ජනගහනයෙන් සියයට 15ක් ලියාපදිංචි දියවැඩියා රෝගීන්ය. කොළඹ තදාසන්න ප්‍රදේශවල ජනගහනයෙන් සියයට 60ක් දියවැඩියාවෙන් හෝ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව මෑතකදී සිදු කෙරුණු සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙරට පාසල් සිසුන් බරපතළ ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වෙමින් සිටින බවත්, බස්නාහිර පළාත තුළ පාසල් දරුවන්ගෙන් සියයට 25ක් පමණ එනම් දරුවන් හතර දෙනකුගෙන් එක් අයකු දියවැඩියා රෝගයට හෝ පූර්ව දියවැඩියා තත්ත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරුවලින් සනාථ වෙයි.

දිනකට දියවැඩියා රෝගීන් පමණක් 150 දෙනකු මියයන අතර, හදවත් රෝගීන් 600ක් පමණ රෝහල් ගත කෙරෙයි. ඉන් 150 දෙනකු නැවත ගෙදර එන්නට වාසනාව අහිමි වූවෝ වෙති. මේ අනුව වර්ෂයකදී හදවත් රෝග සහ දියවැඩියා රෝගය නිසාවෙන් පමණක් මෙරට ජනගහනයෙන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිත අහිමි කර ගනිති. මේ අයගෙන් අති බහුතරයක් වයස අවුරුදු 65ට අඩු වයස් ඇත්තෝ වෙති.

මෙරට වැඩිහිටියන්ගෙන් සියයට 40 දෙනකු පමණ අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝග තත්ත්වයෙන් පෙළෙන බවත්, දරුවන්ගෙන් සියයට 15ක් පමණ මේ වනවිටත් මෙම තත්ත්වයට ගොදුරුවී ඇති බවත් හෙළි වී ඇත. (ව්ධදචතජධඩධතඪජ ටචබබර තඪමඥප) අක්මාවේ මේදය තැන්පත් වීම නිසාවෙන් අඩු වයසින් ඇල්කොහොලීය නොවන සිරෝසිස් රෝගය, අක්මා පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ හා වෙනත් මාරාන්තික රෝගවලට ඉතා ඉක්මනින් ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇත.

සංවර්ධිත රටවලට සීමා වී තිබුණු ස්ථුලතාවද මෙරට ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වළපල්ලට යවන තවත් සාධකයක්ව ඇත. වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් පංගුවකට වඩා වැඩි පිරිසක් (සියයට 34.4ක්) බර වැඩි සහ ස්ථුලතාවයෙන් පෙළෙති.

ලංකාවේ සෑම වසරකදීම පිළිකා රෝගීන් 17,000ක් පමණ අලුතින් වාර්තා වන අතර, 2035 වර්ෂය වනවිට පිළිකා සුනාමියක් පැමිණෙනු ඇති බවට මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු මෑතකදී ප්‍රකාශ කර තිබිණි. ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෑතකදී කර ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකුම කුමන හෝ පෙර කී බෝ නොවන රෝගයකින් පෙළේ. මේ තත්ත්වය නාගරික වන්නට වන්නට වැඩි වීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් බස්නාහිර පළාත දැඩි අවදානමක් දරයි. එහෙත් අපේ මිනිසුන් සිටින්නේ ස්වකීය පරම්පරාවෙන්, සංස්කෘතියෙන් ලද දැනුම සන්දර්ශන පවත්වා පෙන්වා දීමට ගියත් එය පිළිගැනීමට නොහැකි තරමේ මානසික අගාධයකය.

හෘදයාබාධයකින් මියගිය වයස අවුරුදු 25ක පමණ වූ තරුණයකුගේ මළ ගෙදරකට සහභාගි වන්නට මෑතකදී මා හට සිදුවිය. කොළඹට ආසන්න ෆාමසියක සේවය කළ ඔහු හදිසි හෘදයාබාධ තත්ත්වයකදී ජීවිත අවදානම අවම කර ගැනීම සඳහා ලබාදෙනු ලබන දිව යට තබන පෙති කීයක් නම් අලෙවි කරන්නට ඇත්ද? එහෙත් තමන්ට මේ දැනෙමින් තිබෙන්නේ දිව යට තබන පෙත්තක් අවශ්‍ය භයානක රෝග තත්ත්වයක් යැයි ඔහුට මිය යන්නට පෙර සිහිනයකින්වත් නොසිතෙන්නට ඇති. වෛද්‍යවරුන්ටවත් අදහා ගන්නට නොහැකි ලෙස ලංකාවේ දැන් දැන් ඉතා අඩු වයසින් පෙර කී රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී.

මේ තරුණයාගේ මළ ගෙදරට සහභාගි වූ හැමෝම අනේ අපොයි කියමින් අද කාලේ අයගේ ආහාර පරිභෝජන රටාව පිළිබඳ ලොකු කතා කියමින් සිටිනු පෙනිණි. ඇසිණි. ඒත් ඒ මළ ගෙදරට පැමිණි හැමෝම පාහේ අරන් ආවේ සීනි, බිස්කට්, කෝඩියල් වැනි දෑය. අර කතා කරපු හැමෝම බිස්කට් කකා අධික ලෙස සීනි දැමූ මැෂින් එකෙන් වැක්කෙරෙන කිරි කෝපි දෙක තුනක් පානය කරමින් සිටිනු පෙනිණි. වළකට වැටුණු විට මොළයට ලාභයක් වෙන්නට ඕනෑය. ලංකාවේ බොහෝ දෙනකුගේ මොළවලට වළවල් දාහක වැටුණත් ලාභයක් අත්වන බවක් නොපෙනේ. ඒ නිසා අප බොහෝ දෙනකු ළඟ ළඟ එන බෝ නොවන රෝග සුනාමියකට ගොදුරු වන්නට ඉරණම් ලද්දෝ වෙති.