විනෝද වෙන්න හිතාගෙන ලෙඩාගේ අක්මාවේ නම කෙටූ ලන්ඩන් දොස්තරට වැඩ වැරදුනු හැටි

782

බි්‍රතාන්‍යයේ ඉහළම පෙළේ වෛද්‍ය විශේෂඥයකු විසින් මේ වගේ ජොලියට කරන ලද බරපතළ වැරැදි වැඩක් ගැන බි්‍රතාන්‍ය පුවත්පත් පසුගිය සතියේ ලොකු සිරස්තලවලින් වාර්තා කළේය.

පනස් තුන් හැවිරිදි ‍දොස්තර සයිමන් බ්‍රැම්හෝල් මහා බි්‍රතාන්‍යයේ බර්මින්හෑම් නුවර එළිසෙබත් රැජන මහ රෝහලේ ප්‍රධාන ශල්‍ය විශේෂඥයෙකි. ලෙඩුන්ට අක්මා බද්ධ කිරීමේ බැරෑරුම් ශල්‍යකර්මය කරනා වෛද්‍ය කණ්ඩායමේ නායකයද ඔහුය. අක්මා බද්ධ කිරීමට පැය 6ක් පමණ ගතවේ.

විනෝදකාමියකු වූ දොස්තර සයිමන් මහ රෝහලේ සේවක මණ්ඩලය අතර ඉතා ජනප්‍රිය පුද්ගලයකු වූයේ සගයන්ට විහිළු කිරීම හා ඔවුන්ට ලණු දීම ඔහුගේ පුරුද්දක් වූ නිසාය. එනිසාම දොස්තර සයිමන්ගේ ශල්‍යකර්ම කණ්ඩායමට එකතු වීමට සමහර හෙදියෝ පොර කෑහ. හැමෝම ඔහුට කතා කළේ එස්.බී. (ඉඕ) කියාය.

2013 අගෝස්තු 21දා ඔහුගේ කණ්ඩායම ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි සුදු කාන්තාවකට නව අක්මාවක් බද්ධ කළේය. තරමක විවේකයකින් පසු මෙම කණ්ඩායමට තවත් එවැනිම හදිසි ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය. එදා දොස්තර සයිමන්ට දැඩි මහන්සියක් දැනුණි. එකම රටාවට එකම ශල්‍යකර්මය ලෙඩුන් දෙදෙනකුට කරන්න වීම නිසා ඔහුට තරමක කම්මැළිකමක් හිතට නොදැනුණා නොවේ. එහෙත් ශල්‍යාගාරයේ සිටි හෙදියන් සමඟ විහිළු තහළු කරමින් ඔවුන්ට රස කතා කියමින් ඔහු ලෙඩුන් දෙදෙනාටම ඉතා සාර්ථක ලෙස අලුත් අක්මා බද්ධ කළේය.

ශල්‍යකර්ම දෙකම සර්ථකව ඉටුකළ නිසා සයිමන් බ්‍රැම්හෝල් වෛද්‍ය විශේෂඥයා හා පිරිස එදා ගෙදර ගියේ ඉතා පී්‍රතියෙනි. ඉන් මාසයකට පමණ පසු එදා අක්මාව බද්ධ කෙරුණු රෝගී සුදු කාන්තාව නැවැත රෝහලට ඇතුළු වූයේ දෙවැනි ශල්‍යකර්මයක් කරගැනීම සඳහාය. එදා ‍ෙදාස්තර සයිමන් නිවාඩු ගොස් සිටි නිසා වෙනත් විශේෂඥ දොස්තරවරයකුගේ නායකත්වයෙන් ශල්‍යකර්මය ඇරැඹිණි. නිර්වින්දන බෙහෙතකින් ලෙඩාගේ සිහිය නැති කොට උදරය පරෙස්සමෙන් ප්‍රවේශමෙන් කපා විවෘත කොට ඇයගේ අලුත් අක්මාව දෙස බැලූ වෛද්‍ය විශේෂඥයාට තම දෙනෙත් අදහා ගැනීමට බැරි විය. ඔහු ඔළුවේ අත ගසා ගත්තේය. ලෙඩාගේ අක්මාවේ SB යන අකුරු දෙක ඉතා පැහැදිලිව කොටා තිබිණි.

මෙය ‍ෙදාස්තර සයිමන්ගේ දඟ වැඩක් බව වෛද්‍ය විශේෂඥවරයාට වහාම අවබෝධ විය. ‍ෙදාස්තරගේ නම කෙටූ අක්මාවේ ඡායාරූපයක් ජංගම දුරකතනයෙන් ලබාගත් ඔහු ශල්‍යකර්මය අවසන් කොට ඇයගේ උදරය නැවැත මැහුම් දමා මසා දැම්මේය. (ශල්‍යකර්මවලදී ටිෂූ පෑස්සීමට යොදා ගන්නා පෑනකින් කොටන ලද මෙම අකුරු දෙක සති කිහිපයකින් ඉබේම මැකී යන අතර එයින් ලෙඩාට කිසිදු හානියක් සිදු නොවේ) රෝහලේ ප්‍රධානතම වෛද්‍ය විශේෂඥයා වූ සයිමන් බ්‍රැම්හෝල් ලෙඩුන්ගේ සිරුරු තුළ පිස්සු නටන්නට යෑම බරපතළ වැරැද්දක් බව ප්‍රකාශ කළ අලුත් වෛද්‍යවරයා තමා වහාම ඔහුට විරුද්ධව පැමිණිලි කරන බව ප්‍රකාශ කළේය.

“සර් අහවල් දවසේ ඉඕ තවත් ලෙඩකුගේ අක්මාවෙත් ඔය වගේ අකුරු ලියනවා මම දැක්කා. “මොකක්ද ඩොක්ටර් ඔය කරන වැඩේ.” කියලා මම ඇහුවම සද්ද නැතිව ඉන්න නර්ස් මම මේක ත්‍රිල් එකට කරන දෙයක් කියා කිව්වායැයි එතැන සිටි හෙදියක් අලුත් ‍ෙදාස්තරට පැමිණිලි කළාය.

මේ සිද්ධිය දැනගත් විගස බර්මින්ග්හෑම් රෝහලේ බලධාරීන් විසින් දොස්තර සයිමන්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී. පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරන ලදී. ඉන් සති කිහිපයකට පසු ඔහු රෝහල් සේවයෙන් ඉල්ලා අස් විය.පසුගිය සිකුරාදා බර්මින්හෑම් නුවර දිස්ත්‍රික් උසාවියේදී ලෙඩුන් දෙදෙනකුට ශාරීරික හිංසා කිරීම යන චෝදනාව යටතේ ‍දොස්තර සයිමන්ට විරුද්ධව පොලිසිය විසින් පවරණු ලැබ තිබුණු නඩුව විභාගයට ගැනිණි. මෙය ඉතා කලාතුරකින් අසන්නට ලැබෙන පුදුම සිද්ධියක් නිසා දෙස් විදෙස් වාර්තාකරුවෝ සියයක් පමණ උසාවියට පැමිණ සිටියහ.

නඩුව විභාග කළ විනිසුරුතුමා තීන්දුව දීමට පෙර මෙසේ කීය. ඔබ විසින් මේ කරන ලද අක්මා බද්ධ ශල්‍යකර්ම දෙකම ඉතාමත් අසීරු හා පැය ගණනාවක් ගතවූ කාර්යයන් නිසා හරිදේ මොකක්ද වැරැදි දේ මොකක්ද කියා සිතාගත නොහැකි මානසික ව්‍යාකූලත්වයකට ඔබ පත්වන්න ඇති. නමුත් වෘත්තීය උඩඟු බවෙන් පෙළෙමින් ඔබ කර ඇත්තේ සාපරාධී ක්‍රියාවක්. තමන්ගේ බලය අනිසි ලෙස යොදා ගනිමින් ඔබ කර ඇත්තේ ඔබගේ හැකියා පිළිබඳ ලෙඩුන් තුළ තිබූ විශ්වාසය පාවා දීමක්.

මෙය සිරදඬුවම් ලැබිය යුතු බරපතළ වරදක්. නමුත් ඔබ අක්මාව නරක් වී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි ලෙඩුන් දහසක් පමණ මරණයෙන් බේරාගත් විශිෂ්ට වෛද්‍යවරයෙක්. ඔබගේ සේවය මතුවටත් රටට අවශ්‍යයි. එනිසා මම ඔබට පවුම් 10,000ක (රු. ලක්ෂ 20ක් පමණ) දඩයක් නියම කරනවා. ඒ වගේම තවත් දඬුවමක් වශයෙන් ඔබ පැය 120ක කාලයක් පඩි නැතිව පාරවල් අතු ගෑම, කසළ සුද්ධ කිරීම, තාප්පවල තීන්ත ගෑම වැනි ඛ්ධථථභදඪබර සමාජ සේවයේ යෙදිය යුතුයි.නඩු තීන්දුවෙන් පසු පැමිණිල්ල මෙහෙය වූ ප්‍රධාන අපරාධ පරීක්ෂක නිලධාරි මෙසේ කීවේය.

දොස්තර සයිමන් හැමෝගේම ජනාදරය දිනූ ඉහළ වෛද්‍යවරයෙක්. එයා මේ විදිහේ වැරැදි වැඩක් කළේ මොකද කියලා අපිට තවම තේරුම් ගන්න බැහැ. මම හිතන්නේ ජොලියට කරපු වැඩක් වෙන්නැති. මේ අකුරු කෙටිල්ලට භාජන වූ ලෙඩ්ඩු දෙන්නාට මානසික ආතතිය හැදුණා. ජොලියට කියලා ලෙඩ්ඩුන්ගේ ඇඟ ඇතුළේ පච්ච කොටන්න නීතියෙන් ඉඩක් නැහැ. මෙයා හිතුවෙ නැහැ කීයටවත් මේ අකුරු කෙටිල්ල වෙන කෙනෙක් දකීවි කියලා. බැරි වෙලාවත් ලෙඩාට දෙවැනි ඔපරේෂන් එකක් නොකළා නම් මේ දොස්තර තව ලෙඩ්ඩු දෙතුන් සියයක අක්මාවලත් හිනාවෙවී තමන්ගේ මුලකුරු කොට කොටා ඉඳීවි. රජයේ සේවයෙන් පහ කරන ලද දොස්තර සයිමන් දැන් පෞද්ගලික රෝහලක සේවය කරයි.