දැනට 9ක් මැරිලා , මැරිලා ඉපදුන අයගෙන් කරදරලු – මෙන්න යාපනය වෙළද සංකීර්ණයට වෙලා තියෙන දේ

700

යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විශ්වාස නොකළත් යාපනය නගරයේ කුඩා වෙළෙඳ සංකීර්ණය තුළ සිදුවන මහාභුත බලවේගය මෙතෙක්‌ පහව ගොස්‌ නොමැති බව කියමින් එහි වෙළෙන්දෝ භූතයින් පලවා හැරීමේ ශාන්ති කර්මයක්‌ ආරම්භ කොට තිබේ.

එම වෙළෙඳ සංගමයේ පිරිස කියා සිටින්නේ තමන් සමග වෙළෙඳාම් කළ එකම පවුල් දාමයකට අයත් පවුල් හතරක සාමාජිකයින් 9 දෙනෙකු මිය යැමෙන් පසුව ඔවුන් භූතයින් ලෙස ඉපදී මෙම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්දන්ට බලපෑම් කරන බවයි.

ඔවුන් මියයැමට පෙර කුඩා වෙළෙන්දන් 127 දෙනෙකු මෙම ස්‌ථානයේ වෙළෙදාම් කොට හොඳ ලාභයක්‌ ලබන ලද නමුත් මේ වනවිට වෙළෙඳ කටයුතුවලින් පාඩු වීම හා විවිධ බාධක හා කම්කටොලු පැමිණීම නිසා මේ ස්‌ථානයේ වෙළෙඳාම් කරන පිරිස 49 කට සීමා වී ඇති බව කියා සිටියි.

යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් එම පිරිස මියගියේ ඉන්ෆ්ලුවන්සා වෛරස්‌ උණ රෝගයෙන් බව ප්‍රකාශ කළත් එම උණ රෝගය යාපනයේ වෛද්‍යවරුන්ට සොයා ගැනීමට නොහැකිව කාලයක්‌ ගත වූ බවද වෙළෙන්දෝ කියා සිටිති.

මේ කාලය තුළ මෙම වෙළෙඳසල් තුළත් වෙළෙන්දන්ගේ නිවෙස්‌ තුළත් විශ්වාස කළ නොහැකි බොහෝ විපර්යාස සිදු වූ නමුත් ඒවා නිලධාරීන් පිළිනොගන්නා බවද පවසන වෙළෙන්දෝ මීට කළ හැකි එකම දේ භූතයින් පලවා හැරීම පිණිස ශාන්තිකර්මයක්‌ පැවැත්වීම යෑයි විශ්වාස කරන බව ද කියා සිටියහ.

ඒ අනුව 18 දා ඔවුන්ගේ සියලු වෙළෙඳ කටයුතු නවතා දමා භූතයින් පලවා හැරීමට යාපනයේ කුඩා වෙළෙඳ මධ්‍යස්‌ථානයේ වෙළෙන්දෝ කටයුතු යොදා තිබුණි.