මෘත ශරීර දෙකක් මාරු වෙලා වෙච්ච අලකලංචියක් – එකක් කි.මී 600ක් දුර ගෙවා නැවත නිවසට

677

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ විශ්‍රාමික කීට ජීව පර්යේෂණ විද්‍යාඥයකුගේ හා ගොවි මහතකුගේ සිරුරු අත්වැරදීමකින් මාරු වී කොළඹ පන්නිපිටිය හා කහටගස්දිගිලිය, මැකිච්චාව ප්‍රදේශයට මල් ශාලා මඟින් ප්‍රවාහනය කිරීම නිසා මෘත දේහයන්ගේ හිමිකරුවන්ට එහි මාරු ඇර ගැනීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවීමේ පුවතක් (13දා) අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.

හදිසි හෘදයාබාධයන් හේතුවෙන් තම්මැන්නාව රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුළම, පඬුවැව, මැකිච්චාව ලිපිනයේ පදිංචිව සිටි 63 හැවිරිදි එච්. පී. නන්දසේන ගොවි මහතා හා කොළඹ මහ නගර සභාවේ සේවයේ නිරත වී අනුරාධපුර ශ්‍රාවස්තිපුර ඥාති නිවෙසක විසූ විශ්‍රාමික කීට ජීව විද්‍යාඥවරයකු වූ 90 හැවිරිදි එච්. ඒ. ජයසිංහ මහතා පසුගිය 12දා උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔවුන් දෙදෙනාගේ මෘත දේහයන් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී හදිසි මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව අනාවරණය කර ගැනීමට අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ. අනතුරුව මෘත දේහයන් අයිතිකරුවන් වෙත භාරදීමට මෘත ශරීරාගාරයේ සේවකයන් (මෝචරිය) කටයුතු කර තිබේ.

සේවකයන් ලබා දුන් දේහයන් දෙක පරීක්ෂාවට ලක් නොකළ ඥාතීන් හා මල් ශාලා සේවකයන් ඒවා එම්බාම් කිරීම සඳහා හර්ස් රථයට පටවාගෙන මල් ශාලා වෙත රැගෙන ගොස් තිබේ. ඒ අනුව කොළඹ පන්නිපිටියට ගෙන යායුතු දේහය අනුරාධපුර මල් ශාලාවකදී සකසා කහටගස්දිගිලිය මැකිච්චාවට යැවීමට මල් ශාලා සේවකයන් කටයුතු කර තිබෙන අතර කහටගස්දිගිලිය මැකිච්චාවේ දේහය පන්නිපිටියට ප්‍රවාහනය වී තිබේ.

මුලින්ම මැකිච්චාවේ දේහය නිවෙසට රැගෙන ගිය ඥාතීන් දේහය විවෘත කර බලද්දී එය සිය ඥාතියාගේ නොවන බව තහවුරු කරගෙන එය කුමන ප්‍රදේශයට මාරුවී ගියේ දැයි සොයා තිබේ. පන්පිටියේ දේහය මල් ශාලාවේ එම්බාම් කරමින් සිටියදී එයද මාරුවී ඇති බව දැනගත් ඥාතීන් ඔවුන්ගේ දේහය සොයා ගැනීමට වෙහෙස වී තිබේ. පසුව දෙපාර්ශ්වය නිවැරැදිව දේහයන් මාරු වී ගිය ස්ථාන දුරකතන මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පෙරේදා (13දා) අලුයම නැවතත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය ඉදිරිපිටට පැමිණ නීත්‍යනුකූලව දේහයන් මාරුකර නිවෙස්වලට රැගෙන ගොස් තිබේ.

මැකිච්චාවට අයත් දේහය කිලෝමීටර් 600ක් පමණ දුර ගෙවා නැවතත් අනුරාධපුරයට රැගෙන විත් තිබූ අතර පන්නිපිටියට අයත් දේහය කිලෝමීටර් 80ක් පමණ දුර ගෙවා නැවත අනුරාධපුරයට ගෙනැවිත් තිබේ.මෘත ශරීරාගාරයේ සේවකයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහයන් ඥාතීන්ට ලබාදීමට කටයුතු කර තිබුණත් දෙපාර්ශ්වයේම ඥාතීන් හා මල් ශාලා සේවකයන් ඔවුන් භාරයට ගත් දේහයන් නිවැරැදි ඒවාද යන්න තහවුරු කර ගැනීම සඳහා කටයුතු නොකිරීම නිසා මෙම අලකලංචිය සිදුව තිබෙන බව වාර්තා විය.