අනුන්ට පිනට යමක් නොදෙන සමාජයක කෝටි 5ක ඉඩම සඟසතු කළ අපේ කාලයේ සුජාතාව

643

අනුන්ට බිම් අඟලක් නොදෙන අනුන්ගේ බිම් අඟලක් හෝ තමුන්ගේ දේපළවලට එකතුකර ගැනීමට පොරබදන සමාජයක තමුන්ට අයත් කොටි 5කට ආසන්න වටිනාකමක් ඇති පර්චස් 100ක ඉඩම සහ නිවාස දෙක සඟසතු කොට පුජාකළ අපේ කාලයේ සුජාතාවක් මාතර වෙලේගොඩින් දැකිය හැක.

මේ මහ පුණ්‍ය කර්මය සිදුකරමින් බුද්ධ දේශනාවට අනුව අත්හැරීමේ ගුණය පසක් කර දුන් මේ පින්වන්තිය මාතර වෙලේගොඩ මැදපාර කරුණා නිවසේ පදිංචි ඥානවති කොඩිකාර මහත්මියයි.

ඇයගේ සැමියා වන ජේ. එම්. කරුණාරත්න මහතාත් දාන, ශීල, භාවනාවලට යොමුවෙමින් සිටියදී මීට වසර දෙකකට පෙර අහංගම පදිංචි අවිවාහක තම ඥාති සොහොයුරියක් විසින් ඇයට අයත් දේපළ සඟ සතු කිරීමේ උදාර පින්කමකට සහභාගි වී ඇත.

ඒ පින්කම දුටු කරුණාරත්න මුදලාලි මහතාට ද ඇති වූ දහම් සිතුවිල්ල මත අපිට කියා දරුවන් නැති නිසා අපේ දේපළ සඟ සතුකර පුජා කරමු යැයි ආදරණිය බිරිය වන ඥානවති කොඩිකාර මහත්මියගෙන් ඉල්ලා තිබුණි.

ජේ. එම්. කරුණාරත්න මුදලාලි මහතා මීට වසරකට පෙර දිවියෙන් සමුගැනීමත් සමඟ තම සැමියාගේ ඉල්ලීම සිහිපත් වූ ඥානවතී මහත්මිය තම සහෝදර සහෝදරියන් වන කෝලිත, නන්දා, අමිතා, ප්‍රඥා, අමරසිරි, සරත් යන අය සමඟ ද සාකච්ඡා කොට මේ දේපළ සඟසතු කිරීමට තීරණය කර ඇත.

මේ අනුව මේ නිවාස ප්‍රදේශයේ තරුණ තරුණියන් ආගමට ලැදි හැදියාවෙන් යුතු පිරිසක් ලෙස සමාජයට එක් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කරුණා මැදුර වශයෙන් නම් කර සඟසතු කිරීමට පියවර ගත්තේ බුද්ධ දේශනාවේ සඳහන් පරිදි තණ්හාව ආශාව නැති කරගෙන සියලුදේම අත්හැරිමේ ගුණය පසක් කරමිනි.

වයස අවුරුදු 75ක ජීවිතයේ කඩඉම පසුකරන ඥානවතී මාතාව මේ උතුම් පරිත්‍යාගය වෙලේගොඩ සුනන්දාරාමය වෙත සඟසතු කළේ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අමරපුර ධර්ම රක්ෂිත මහ නිකායේ ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද මහනායක හිමිපණන් ඇතුළු මහ සංඝරත්නය ඉදිරියේදීය. මේ උතුම් පරිත්‍යාගය වෙනුවෙන් ඇය ශාසන ගෞරව ප්‍රණාම නාමයෙන් පිදුම් ලැබුවාය.

අද මේ කරුණා මන්දිරය ප්‍රදේශයේ තරුණ පරපුරට කරුණාව මෛත්‍රිය ජනිත කරවන ඔවුන් යහපත් පුරවැසියන් බවට පත්කරන ආගමික මධ්‍යස්ථානයකි. මේ උතුම් පින්කමේ බලයෙන් පරලොව සැපත් ජේ. එම්. කරුණාරත්න මහතාට අමා මහ නිවනම අත්වේවා! කියා ප්‍රාර්ථනා කරන අපි ඥානවතී කොඩිකාර මහත්මියට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා! කියා පතමි.

මේ අවස්ථාවට විශාල ගිහි පැවිදි පිරිසක් සහභාගි වී සිටියහ. උත්සවය, ප්‍රධාන සංවිධායක මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් දායක සභාවේ සහයෝගයෙන් පැවැත්විණි.