මාරයාට අත වනමින් රස කර කන කුකුළු පීකුදු, වැලිබොක්ක (ගිසාඩ්) ගැන ඔබ නොදන්න විස වස කතාව

4196

මේ ගෙවෙන්නේ උත්සව කාලේ. මේ කාලෙදි නෑදෑ හිතවතුන් එකතු වෙලා පුංචි පුංචි සාද පවත්වන එක සාමාන්‍ය දෙයක්. එවැනි සෑම සාදයකදීම පෙරට එන එක් කෑම වර්ගයක් තමයි කුකුළු මස් කියන්නේ. බතට නම් උයනවා. බයිට් එකට නම් බදිනවා. එහෙමත් නැත්නම් ඩෙවල් දානවා. මේ දවස්වල මේ මොන විදියටත් කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් රසට ආසා කරන්නන් විශේෂයෙන් කුකුළු පීකුදුවලට ලොල් කරන්නන්ගේ හිත ගැස්සෙන විදිහේ ආරංචියකුත් අහන්න ලැබුණා. ඒ කුකුළු පීකුදුවල බැර ලෝහ අඩංගු බව තහවුරු වීමේ පුවතයි.

මේ පිළිබඳව විද්‍යානුකූලව පර්යේෂණයක් සිදු කළ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකය එම සොයා ගැනීම තහවුරු කිරීමට සමත් වී තිබෙනවා. ජලය, සහල්, ධාන්‍ය වර්ගවල ආසනික් අඩංගු බවට කාලෙන් කාලෙට කතාබහ ඇතිවුණත් කුකුළු මස්වල එහෙමත් නැතිනම් බේ‍රායිලර් කුකුළාගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක අඩංගු වූ කතාවක් අහන්න ලැබුණේ මෑතකදී.

ඒ මීට මාස දෙක තුනකට කලින් තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකින්. ආයෙත් ඒ කතාවමයි. සිදුකළ නවතම පර්යේෂණයේ තොරතුරු පිළිබඳව කියන්න එකතු වුණේ මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායන පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනි ලියනගේ මහත්මියයි.

“පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැමකෙනෙක්ම කන්න ආසා කරන කෑමක් තමයි කුකුළු මස් කියන්නේ. දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ලබාගැනීමට තියෙන පහසුම මඟත් කුකුළු මස්. කුකුළු මස් පරිභෝජනය අධික නිසාම එහි ඇති ගුණාත්මක බව තහවුරු කරගන්න අපිට ඕන වුණා. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයන් අපි ආරම්භ කළේ 2016 අවුරුද්දෙදි. මේ පර්යේෂණය සඳහා දේශීය වෙළෙඳපොළේ සිටින කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනකුගේ කුකුළු මස් තෝරාගත්තා. එම වර්ග තුනෙහි පපු ප්‍රදේශය, පීකුදු හා වැලිබොක්ක විශ්ලේෂණය කළා.”

පර්යේෂණ කණ්ඩායම මෙම විශ්ලේෂණය සඳහා භාවිත කර තිබුණේ ඉතා උසස් මට්ටමේ තාක්ෂණික මෙවලම්. එම මෙවලම් භාවිතයෙන් පර්යේෂණයට භාජන කළ පීකුදු අතරින් එක් නිෂ්පාදකයකුගේ පීකුදුවල ආසනික් බැර ලෝහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වී තිබූ බව තහවුරු කරගෙන තිබුණා.

“මේ නිසාම අපි කුකුළු මස්වලට බැර ලෝහ පැමිණෙන ආකාරය නිගමනය කිරීමට ඉහත පරීක්ෂා කළ කුකුළු මස් නිෂ්පාදකයන් තිදෙනාගේ කුකුළන් සඳහා ලබාදෙන ආහාර වර්ගත් පරීක්ෂාවට ලක් කළා. සාමාන්‍යයෙන් වාණිජ කුකුළු පාලනයේදී බේ‍රායිලර් කුකුළන් සඳහා ප්‍රධාන ලෙස ආහාර වර්ග 2ක් ජීවිත කාලය තුළදී ලබාදෙනවා.

වාණිජ වශයෙන් නිපදවන එම කුකුළු ආහාර සඳහා කාබනික ඛනිජ ලවණ එක් කරනවා. එහිදී බැර ලෝහ වන ඊයම් (ර්ථීඡ), ආසනික් (ඒඵ) හා කැඩ්මියම් (ඛ්ඤ) අඩංගු දැයි කියලා අපි පරීක්ෂාවට ලක් කළා. ඒ අනුව තමයි බේ‍රායිලර් කුකුළු ආහාරවල අනුමත ප්‍රමාණයට වඩා බැර ලෝහ අඩංගු බව අනාවරණය වුණේ. මීට අමතරව වාණිජ කුකුළු පාලනයේදී උෟනතා රෝග වැළැක්වීම පිණිස කුකුළු කෑම සඳහා එක් කරන සින්ක්, කොපර් හා මැග්නීසියම් වැනි අංශුමාත්‍ර මූලද්‍රව්‍යද අනුමත ප්‍රමාණයට වඩා අඩංගු වී තිබුණා.

ආචාර්ය රුවිනි පවසන පරිදි මෙසේ පීකුදුවලට බැර ලෝහ එකතුවීමට හේතුවිය හැක්කේ සත්ත්ව ආහාර නිෂ්පාදනයේදී යොදා ගන්නා අමුද්‍රව්‍ය අපිරිසුදු වීම, අයහපත් කුකුළු පාලනය හා අපිරිසුදු පානීය ජලය සතුන්ට ලබාදීමයි. කුකුළන්ගේ වර්ධනය වැඩි කිරීම පිණිස වැඩිපුර කාබනික ඛනිජ ලවණ භාවිතය අහිතකර තත්ත්වයක් බව ආචාර්යවරිය පවසනවා.

“මෙවැනි බැර ලෝහ සහිත කුකුළු මස්, විශේෂයෙන්ම පීකුදු ආහාරයට ගැනීමෙන් ඇතිවන අහිතකර ලෙඩ රෝග අති විශාලයි. බැර ලෝහ අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්හි එකතු වී ස්නායු ආබාධ, අස්ථි ආබාධ හා අක්මාවේ ආබාධ ඇති කරනවා මෙන්ම සමහර පිළිකා සඳහාද හේතු වෙනවා. කුකුළු මස් පරිභෝජනයට ගැනීමේදී වඩා සැලකිල්ලට ගත යුත්තේ පීකුදු ආහාරයට නොගෙන සිටීමටයි.

පීකුදු කියන්නේ යකඩ හා ප්‍රෝටීන් බහුල ලෙස අඩංගු ආහාර ප්‍රභවයක් නිසා අපේ මවුවරු නිරතුරු කුඩා දරුවන්ගේ කෑමවේලට පීකුදු එකතු කරනවා. නමුත් දරුවන්ට පීකුදු දෙන්න එපා. පීකුදුවල අඩංගු රසායනික සංඝටක දීර්ඝ කාලීනව දරුවන්ගේ ශරීරය තුළ තැන්පත් වීමෙන් බොහෝ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ගර්භණී මවුවරුන් වගේම කිරිදෙන අම්මලත් පීකුදු කෑමේදී පරෙස්සම් වෙන්න.”

මේ සියලු කරුණු කාරණා සැලකීමේදී කිවයුතු කරුණ නම් කුකුළු පාලනයේදී නියමිත ප්‍රමිතීන්ට අනුව විවිධ විටමින් සහ ඛනිජ වර්ග මෙන්ම කාබනික පරිපූරක යෙදීම කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රථම වගකීම විය යුතු බවයි. එමෙන්ම කුකුළු ගොවිපොළවල තත්ත්ව පාලනය යාමනය කිරීමට රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවීමද අත්‍යවශ්‍ය කරුණක් බවත් කිව යුතුමයි.




One thought on “මාරයාට අත වනමින් රස කර කන කුකුළු පීකුදු, වැලිබොක්ක (ගිසාඩ්) ගැන ඔබ නොදන්න විස වස කතාව

  1. අශාන් ලහිරු

    ගෙවල් වල ඇති කරන කුකුළන්ගෙ පීකුදු, වැලිබොකු කෑවට කමක්නෑනෙ?

Comments are closed.