දිය නාමින් උසුළු විසුළු කරපු තරුණියන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ බුද්ධ පුත්‍රයා

1392

පොල් ත්‍රිකෝණයට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ බිංගිරිය නගරයට නුදුරු බ්‍රාහ්මණයාගම විහාරස්‌ථානයක එකල වැඩ විසූ සද්ධානන්ද හිමියෝ ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියෙක්‌ ඉසිලූ ධම්ම කථික ස්‌වාමීන් වහන්සේ නමක්‌ වූහ. ප්‍රදේශයේ පඬිරුවනක්‌ වූ උන්වහන්සේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ද ඉමහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලූහ.

මහත් කථිකත්වයක්‌ ඇති උන්වහන්සේ දිනක්‌ තම අවශ්‍යතාවක්‌ සඳහා තම විහාරස්‌ථානයේ සිට බිංගිරිය නගරයට වැඩියේ වැව් කණ්‌ඩියක්‌ දිගේ පා ගමණින්ය. ඉතා ඉක්‌මන් ගමනින් වැඩි උන්වහන්සේ දුටු වැවේ දිය නාමින් සිටි ගැටිස්‌සියන් සමූහයක්‌ මහ හයියෙන් කොක්‌හඬලා සිනහසුනේ ඔලුක්‌කුවකට මෙනි. මේ සිද්ධියෙන් තදබල ලෙස උරණවූ සද්ධානන්ද හිමියෝ තම ගමන නවතා ගැටිස්‌සියන් සමීපයට විත් ඔවුනට අත දිගුකර මන්තරයක්‌ මතුරා ජපකර නැවත සුපුරුදු පරිදි තම කටයුත්ත සඳහා වැඩම කළේ කිසිම හැළ හොල්මනක්‌ නොමැතිවය.

තමා ආ කාරණය ඉටුකරගත් සද්ධානන්ද හිමියෝ දාන වේලාවද කිට්‌ටු වූ බැවින් නැවත සුපුරුදු පරිදි තම විහාරස්‌ථානය වෙත යැමට පිටත්වූහ. උදේ තමා පැමිණි වෑකණ්‌ඩිය දිගේ ඉක්‌මන් පා ගමනින් ආපසු එන උන්වහන්සේට දැකගත හැකි වූයේ තමා දැක මහහයියෙන් ඔලොක්‌කුවට මෙන් කොක්‌හඬලා සිනහසුණු වැවේ දිය නාමින් සිටි ගැටිස්‌සියන් සමූහය හිටිවනම සිටගෙන සිනහසෙමින්ම සිටින බවයි.

දිය නෑමෙන් තොරව පැය හතරක්‌ පමණ එක තැන සිටගෙන සිනහසෙමින් සිටින ගැටිස්‌සියන් සමීපයට ගොස්‌ නැවතුන උන්වහන්සේ “ඈ· දරුවනේ, උඹලා තවමත් නානවාදැයි” ප්‍රශ්න කරමින් ඔවුනට අවවාද අනුශාසනාකර නැවත ඔවුන් දෙසට තම අත දිගුකර මන්තරයක්‌ මැතිරීමෙන් පසු දියරෙදි පිටින්ම හනික ගොඩට පැන්න ගැටිස්‌සියන් වහ වහා තම රෙදි පොට්‌ටනි රැගෙන පස්‌ස නොබලා දිව ගොස්‌ ඇත.

සද්ධානන්ද හිමියන්ගේ මෙබඳු විශ්මයජනක ක්‍රියා පිළිබඳව අදටත් මෙම ප්‍රදේශයේ ගැමියන්ගේ මතක සටහන් නොවෙනස්‌ව රඳා පවතී.