Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ලිංගික හිංසනයෙන් පීඩා විදින මෙක්සිකෝ ලලනාවන්ගේ සංවේදී කතාව

908

රූපාලංකරණයෙහිලා මෙක්සිකෝවේ ලලනාවන් දක්වන සමත්කම අන් කවර රටකවත් කාන්තාවන් තුළ නැතැයි සිතෙන තරම්ය. ඔවුහු මොටෝ රිය පදවන අතර තුර දෙනෙතේ අඳුන් ගල්වති. තේ හැන්දක් උපයෝගී කරගෙන ඇහිපිහාටු රුලි කරගැනීමට ඔවුන් දක්ෂය. අපේ සංස්කෘතිය අනුව නම් ඒ කාන්තාවන් සංකරය. එහෙත් ඔවුන්ගේ ජීවිත පෙනෙන තරම් සුන්දරද නැත. අද අප කතාකරන්නේ ඒ කාන්තාව හා සමාජ වටපිටාව ගැන තොරතුරු බිඳකි.

මෙක්සිකෝව විශාලත්වයෙන් ලොව 14වෙනි රටයි. ජනගහනය අතින් නම් එකොළොස්වැන්නයි. ලොව කුඩාම බල්ලන් විශේෂය සිටින්නේ මෙක්සිකෝවේය. ඌ නම්කර ඇත්තේ එරට තිබෙන ප‍්‍රාන්ත දෙතිසෙන් එකක් වන චිහ්හුආ(Chihuahua) නමිනි. ලෝකයේ රටවල් අතර ඇති දේශසීමා අතරින් අමෙරිකා-මෙක්සිකෝ දේශසීමාව දෙවැනි වන්නේ අමෙරිකා-කැනඩා දේශසීමාවට පමණි.

Loading...

මෙක්සිකානුවෝ ඇසටෙක්, ඉන්කා, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා අප‍්‍රිකානු ආදී ශිෂ්ටාචාරයන් රාශියක සංකලනයෙන් යුක්තය. වසර 300ක් පමණ කාලයක් ස්පාඤ්ඤ යටත්විජිතයක් වූයෙන් මෙක්සිකෝව ස්පාඤ්ඤ බස බහුලවම භාවිත කෙරෙන රාජ්‍යය ද වේ. 1519 දී පළමු ස්පාඤ්ඤ ආක‍්‍රමණිකයා එරටට ගොඩබට අවස්ථාවේ ඒ දේවාගමනයකැයි සිතූ ජනයා ඔහුට දෙවියන්ගේ පානය යැයි සැලකූ උණු චොක්ලට් පිරිනැමූ බව කියවේ.

ස්පාඤ්ඤයෙන් ඔවුනට ලැබුණු දේවල් අතර ගවපොර කී‍්‍රඩාවද වේ. අද ප්ලාසා මෙක්සිකෝ යනු ලොව විශාලතම ගවපොර පිටියයි.මෙසේ අමුතුම සමාජ සංස්කෘතික වටපිටාවක් සහිත මෙක්සිකෝව මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධාකාරයේ අපරාධ සම්බන්ධයෙන් ද කුප‍්‍රකට රටකි. කාන්තා ඝාතන හා හිංසන බහුල රටක් සේ එය සැලකේ. මේ අපරාධ සමග මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතය බැඳී පවතින බව පෙනේ. ගෘහස්ථ හිංසාවන් හෝ ලිංගික අපයෝජන සම්බන්ධව නීතිය හමුවට ඒමට කාන්තාවන් පැකිළෙන්නේ සැමියා හා පවුල මත යැපෙන තමන් අවඥාවට හා සමච්ලයට ලක්වීමේ ඉඩකඩ පවතින බැවිනි.

1910දී පැවැති මෙක්සිකානු විප්්ලවයේදී ඔත්තුකාරියන්, සෙබළියන් හා බාහුබලයෙන් සටන් කරන්නියන් ලෙස කාන්තාවන් ද ඉමහත් සේවයක් කළ බව සඳහන්ය.හැටේ දශකයේ අවසාන භාගය වෙද්දීත් ගැබ්ගැනීම වළකන උපක‍්‍රම භාවිතය කාන්තාවන්ට නීතියෙන්ම තහනම් විය. උපත් අනුපාතයට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය නොවීම 70-80 සමයේදී දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්වූයෙන් පිළිසිඳගැනීම් අඩු කිරීමේ අවශ්‍යතාව මතුවිය. මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් යොදාගත්තේ ටෙලිනවකතා හෙවත් සෝප් ඔපෙරාය. සැලසුම් කළ පවුලක අගය ඒවායින් අවධාරණය කෙරිණි. මහජන ආකල්ප හැඩගැස්වීම සඳහා රූපවාහිනී නාටක යොදාගැනීමේ පුරෝගාමී රට මෙක්සිකෝවයි.

පවුල් සංවිධාන වැඩසටහන් ඇරඹූ ලොව පළමු රට (1973) මෙක්සිකෝව වුව ද මිලියන 128ක පමණ ජනගහනයක් ඇති එරටට උපත් පාලනය තවමත් අභියෝගයකි. ඇතැම් විවාහ සබඳතාවක් තුළ ඇති හිංසනය කෙතරම් ද යත් කොන්ඩමයක් භාවිත කරන්නැයි ඉල්ලා සිටීමට හෝ කාන්තාවට ඉඩක් නැතැයි පැවැසේ. මේනිසා ඇය HIV ආසාදිත වීමේ සම්භාවිතාව ද ඉහළ ගොස් ඇත. පිරිමින්ගෙන් 22%ක් හා ගැහැනු 11%ක් වයස අවුරුදු 16 වෙද්දී ලිංගික සංසර්ගයේ යෙදී ඇතැයි හෙළිවීමෙන් මෙහි ඇති ඛේදනීය තත්ත්වය මොනවට පැහැදිලිවේ.

මෙක්සිකානු දැරියන් වැඩිහිටි වියට පැමිණිසේ සැලකෙන්නේ අවුරුදු 15 දීය. මෙනිසා පහළොස්වෙනි උපන්දිනය සැමරෙන්නේ උත්සවාකාරයෙනි. ඒ සඳහා තමන් කැමැති ගැහැනු හෝ පිරිමි හෝ දෙවර්ගයෙන්ම හෝ තරුණ වයසේ 14දෙනෙකු කැඳවා ගැනීමට ඇයට සිදුවේ. දැරිය අලංකාර ගවුමකින්, හිස් පළඳනාවකින් හා රන් අබරණින් සැරසේ. පවුලේ නෑහිතවත්තු ද මේ උත්සවයට සහභාගිවෙති. පෙරහැරකින් පල්ලියට ගොස් පූජකයෙකුගෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා දේව මෙහෙයක් ද පැවැත්වේ. බයිබල හා පදක්කම් ඇයට තෑගි ලෙස ලැබේ. නැටුම් ගැයුම් හා කෑම්බීම් සහිත සාදය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි. මේ උත්සවය සඳහා දැරිය හා මවුපියන් සූදානම් වන්නේ වසර කිහිපයකට පෙර සිටය.

සංස්කෘතීන් රැුසක සංකලනයක් ඇති රටක් නිසා මෙක්සිකානු විවාහ සිරිත් ද රැසකි. පල්ලියේ සිදුකරන ආගමික චාරිත‍්‍ර නම් සැමට පොදු බවක් පෙනේ. දෙවන මනාලයා මගින් පූජකයාට දෙන ලදුව ආසිරිගන්වන ලද රන්කාසි 13ක් මනාලියට පිරිනැමීම ඇතැම් තැනක සිදුකෙරේ. ඇය ඒවා පිළිගන්නේ විශ්වාසය රකින බවට ප‍්‍රතිඥා දෙමිනි. පසුව මේ කාසි අලංකාර ලෙස තැන්පත් කර තබා ගන්නේ සෞභාග්‍යයේ සංකේතයක් වශයෙනි. ඇතැම් ජෝඩු දෙදෙනාගේම ගෙළ ඈ\ 8 අංකයේ හැඩයට නවගුණ වැලක් වැනි මාලයක් පළඳවා දේව මෙහෙයට සහභාගිවේ. අවසානයේ එය මනාලියට පිරිනමන්නේ මනාලයාගේ හදවත ඇයට දුන්නා යන අදහසිනි. ඇය එය සුරැකිව තබාගනී.

කෙනෙකු මළ පසු ඉක්මනින් අවසන් කටයුතු කිරීමක් මෙක්සිකෝවේ නැත. පල්ලියට ගෙන යන්නේ අඩු තරමේ පැය 48ක් වත් මළසිරුර නිවසේ තබා ගැනීමෙන් පසුය. එම කාලයේ පැමිණෙන නෑයන් හා මිතුරන් කාබී සතුටු වෙති. ඔවුන් එන්නේ ආහාර, මුදල් වැනි තෑගි රැගෙනය. මරණකරු පි‍්‍රයකරන දේ සමග දේහය මිහිදන් කරන්නේ මරණින් පසු ද ඔහු කැමැති දේ භුක්තිවිඳීමට හැකිවනු පිණිසය. ඔක්. 31 හා නොවැ. 2 අතර දිනෙක සැමරෙන මළවුන්ගේ දිනය දා මෙක්සිකානුවෝ තම නෑහිතවතුන්ගේ සොහොන් සරසා ඔවුන්ගේ ආත්මයන්ට ත්‍යාග දෙමින් යාඥා කරති.

කිතුණු මූලධර්මවලට අනුව නත්තල සැමරීමට මෙක්සිකෝ ජනයා ප‍්‍රිය කරති. ඔවුන් උත්සවය අරඹන්නේ දෙසැ. 16වෙනිදා සිටය. නවාතැනක් සොයමින් බෙත්ලෙහෙමේ සැරූ මරියා-ජෝසප් දෙපළ සිහිකරමින් පෙරහැරකින් ළදරු ජේසු පල්ලියට රැුගෙන ගොස් මැදියම් ? දේවමෙහෙ පවත්වති. එහිදී ජේසු බිළිඳාට නැළවිලි ගී ගයනු ලැබේ. එහෙත් නත්තල දිනයේ දරුවන්ට තෑගි දීමක් එහි නැත. ඔවුන් තෑගි ලබන්නේ ජාතික උත්සව දිනයක් සේ සැලකෙන ජනවාරි 6 වෙනිදාය.

මෙක්සිකෝවේ කාන්තාවෝ විවිධ රැකියාවන්හි යෙදෙමින් පවුල් බරට උර දීමට නොමඳ වෑයමක් දරති. එහෙත් එය ඇය මත පැටවූ අමතර බරක් බව පැහැදිලිුය. සේවය නිමවා යළි නිවසට පැමිණි විට ඇත්තේ සම්ප‍්‍රදායික ගෘහනියගේ භූමිකාවමය. බොහෝ පිරිමින් තවමත් තම බිරියට උදව්කරමින් ජීවත් වීමට සිතා නැත. එහෙත් උගත් පිරිමින් වඩා මධ්‍යස්ථව තම පවුලේ අය සමග කටයුතු කරන බව පෙනේ. කෙසේ වුව ද බැලූබැල්මට නම් මෙක්සිකෝව කාබී නටන ජනතාවක් වෙසෙන රටකි. පුළුල් වාටියක් සහිත මෙක්සිකන් තොප්පි හා අලංකාර රැුළි ගවුම් ඇඳ නටන ලලනාවන් ඊට කදිම සාක්ෂියකි.