ගොසිප්

පමාවී සම්මාන ලැබූ රණවිරු සොහොයුරෝ – හඳුනාගෙන නිශ්ක්‍රීය කළේ කිලෝ 1034ක බොම්බයක්‌

ආරක්‍ෂක අංශවල නිරතව සිටියදී ජීවත්ව සිටින කාලය තුළ ලබාගත හැකි ඉහළම සම්මානය වන “වීරෝදාර විභූෂණ” සම්මානය ලබා ගැනීමට පසුගිය දා සොහොයුරෝ දෙදෙනෙක්‌ සමත් වූහ.යුද හමුදා ඉතිහාසයේ සඳහන් අන්දමට සොහොයුරෝ දෙදෙනෙක්‌ මෙවන් වීර සම්මානයක්‌ දිනූ ප්‍රථම අවස්‌ථාවද මෙය විය. (ඇතැම් විට සියලුම ආරක්‍ෂක අංශවලින් මෙම වීර සම්මානය දිනූ ප්‍රථම සොයුරන් දෙදෙනාද මොවුන් වීමට ඉඩ ඇත)

සුපුරුදු පරිද්දෙන්ම මොවුන් දෙදෙනා ඈත හද්දා පිටිසර ගම්මානයක උපත ලත් අහිංසක නිර්භීත තරුණයන් දෙපළකි.ඔවුන් දෙදෙනා නම් ආණමඩුවට නොදුරු මහමිතව නම් වූ ඈත දුෂ්කර ගම්මානයේ වාසය කරන අධිකාරි මුදියන්සේලාගේ ගාමිණී දිසානායක හා අධිකාරි මුදියන්සේලාගේ අශෝක බණ්‌ඩාරයි.

ඔවුන් දෙදෙනාට එම විශිෂ්ට වීර සම්මානය පිදීමට හේතු පාඨය වී තිබුණේ මෙසේය.”සිදුවීමට ගිය බිහිසුණු විනාශයක්‌ වැළැක්‌වීමට නොපැකිළිව ඉදිරිපත් වී මරණාභිමුඛ වූ අයකුගේ හෝ අයවලුන්ගේ ජීවිත බේරා ගැනීමේ හෝ ආරක්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව ස්‌වකීය ආත්ම ආරක්‍ෂාවට සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී තමා විසින් කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද අසෛනික ගණයේ ක්‍රියාව අරබයා, එම වීර ක්‍රියාව අගයනු වස්‌ මෙම ” විරෝදාර විභූෂණ” පදක්‌කම (සම්මානය) ශ්‍රී ලංකාවේ සේනාධිනායක අතිගරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් අතින්……..ට පිදෙයි”

මෙවන් උපහාර සම්මාන ලබනට, උත්තරීතර ගෞරවයක්‌ ලැබීමට මෙම තරුණයන් දෙදෙනා සිදු කළේ කිනම් වූ විශිෂ්ට ගණයේ වීර ක්‍රියාවක්‌ද?සැබැවින්ම එය බිහිසුණු ය. මාරාන්තිකය. තත්පර ගණනාවකින් මිනිස්‌ සිරුරු, ගහ කොළ, ගොඩනැඟිලි වාහන සිහින් අළු – දූලි බවට පත්වන තරමේ අති භයානක ක්‍රියාවලියකි. ලියුම්කරු ද එකී සිද්ධිය ඇසින් දුටු නිසාවෙන්, මේ මොහොතේ දී ද ඒ ගැන සිතන විටත් සිත – ගත සලිත වෙයි.

දිනය, 2007 ජුනි 01 දායි. යාපනය නගරකෝවිල් හි අට වන විජයබා රෙජිමේන්තුවේ අංක 516144 යටතේ හමුදා සෙබළෙකු ලෙස සේවය කළ ඒ. එම්. අශෝක බණ්‌ඩාර “දිගු කැලෑ යුද සමයක” ට පසු ආණමඩුවට නොදුරු කොට වෙහෙර මහමිතව ගමට පැමිණියේ මවුපියන් ඥාතීන් දැක බලා දින කීපයකින් නැවැත යුද පෙරමුණට පිටත් වීමටය.

ඔහුගේ මව එදා උදේ ආණමඩුව සිකුරාදා වෙළෙඳ පළට ගොස්‌ය. පැමිණෙන තුරු ඔහු “පලුගස්‌හන්දිය” හන්දිය අසල කඩ පිළේ යතුරු පැදියද තබාගෙන බලා සිටියේය.

එකවරම පොල් පැට වූ ලොරියක්‌ පැමිණියේය. පලුගස්‌හන්දිය මුරපළේ සිටි පොලිස්‌ පිරිස ලොරිය නතර කළේ එකල සියලු වාහන පරීක්‍ෂා නොකර අත් නොහරින නිසාය. සෑහෙන වේලාවක්‌ ලොරිය පරීක්‍ෂා කරනු දුටු අශෝක, හිමින් ලොරිය අසලට කිට්‌ටු කළේය. ලොරිය ද, රියෑදුරු ද, ක්‌ලීනර් ද සැක සහිතය. පොලිසියේ අවසරය පරිදි තරුණ හමුදා ගැටයා නිර්භීතව ලොරිය තුළට නැග ඔවුන් සමඟ ලොරිය තුළ පරීක්‍ෂා කළේය. රතු පැහැ වයර් දෙකක්‌ ඔහු ඇස ගැටුණි. එය සැක කළ ඔහු අනුමාන වශයෙන් බෝම්බයක්‌ එහි ඇති බව සිතා, පොලිසියට ඒ බව දැනුම් දුන්නේය.

එපමණකින් නොනැවතුණු ඔහු පොලිසියට පැවැසුවේ තමාගේ අයියා, හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සේවය කරන බවත්, ක්‌ලේමෝ බෝම්බයක්‌ කොටි ත්‍රස්‌තවාදීන් විසින් එල්ල කරනු ලැබීමෙන් ඇස ගැලවී අත – පය බිඳී මේ දිනවල නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් ඔහු ලවා මේ ගැන පරීක්‍ෂා කරමු. කියාය.

ඔහු යතුරු පැදියෙන් ගමට ඉඟිලී ලෙඩ ඇඳේ සිටි අයියාද රැගෙන ආවේ නිමේෂයෙකිනි. අයියා වන අධිකාරී මුදියන්සේලාගේ යුද හමුදා ඉංජිනේරු අංශයේ අංක 238505 යටතේ කෝප්‍රල්වරයෙකු ලෙස බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ඉදිරි වළල්ලේ සේවය කළ පළපුරුදු අයෙකි. මුහමාලේ දී කාලතුවක්‌කු ප්‍රහාරයට ලක්‌ වූ ඔහුගේ පණ බේරුණද, ඇසක්‌ ගැලවී, හිසේ වම් පැත්ත ගැලවී අත පය බිඳී ආබාධිත විය. ඔහු නිවසේ සිටියේ ප්‍රතිකාර ලබමින්ය. ආබාධ ගැන දෙවරක්‌ නොසිතා ඔහු ද ලොරියට පැන්නේය.

ඔහු අඬුවක්‌ සොයාගෙන රතු වයර් ඔස්‌සේ පරීක්‍ෂා කළේය. මහ විශ්මයකි. වයර් සැමතැනය. තහඩුව යට වයර් සවි කළ බෝම්බ පෙට්‌ටිය. ඒවා ලොරියේ දෙපස තට්‌ටු මත පෙට්‌ටි වශයෙන් අපූරුවට අඩුක්‌කර තිබුණි. ඔහුට සියල්ල වැටහුණි. අවට රැකවල්ලන ලෙසද මෙම ස්‌ථානයෙන් අන් අය ඉක්‌මනින් ඉවත් කිරීමටද පොලිසිය සමඟ කටයුතු කළ ඔහු පුත්තලමේ බෝම්බ නිශ්ක්‍රීය අංශයට පොලිසිය මගින් දන්වා යවා තම යුතුකම මනාව ඉටු කළේය.

පුදුමයකි ලොරිය දෙපසේම බෝම්බ පෙට්‌ටි ලෙසින් (පෙට්‌ටි හතළිස්‌ හත 47) කිලෝ එක්‌ දහස්‌ තිස්‌ හතරක (1034) සී – 4 (C -4) වර්ගයේ පිපුරුම් ද්‍රව්‍ය ගබඩා කර සඟවා තිබුණි. සියලුම වයර්, රියෑදුරු අසුන අසලට ගෙනැවිත් තිබුණේ ස්‌විචය එබීමෙන් ජනපති මැඳුර, රජයේ මර්මස්‌ථාන හෝ ඕනෑම ගොඩනැඟිලි සමූහයක්‌ ගමක්‌, නගරයක්‌ හමුදා මධ්‍යස්‌ථානයක්‌ මොහොතකින් සුන්නද්දූලි වී යන ආකාරයට පුපුරුවා දැමීමටය.

සියල්ල නිමා වී කාලයට යට විය. පොලිසියේ නිලධාරීන්ට උසස්‌ වීම්, පාරිතෝෂික දීමනා ලැබිණි. ගාමිණී, අශෝකා දෙදෙනා කාටත් අමතක වී ගියේය. මුල සිටම “ඉරිදා දිවයින” මේ රණවිරුවන් අත් හළේ නැත. 2007 ජුනි 10 දාද, 2013.08.11 දින ද “ඉරිදා දිවයින ” ඔවුන් සැමරීය. ඔවුන් වෙනුවෙන් හඬ නැගීය.

ඔවුන් දෙදෙනාට රණවිරු උපහාර ලබා දිය යුතු බවට දිගින් දිගටම කියා පෑයේය. අවසන වසර නවයකට (09) පසුව ඔවුනට සාධාරණය ඉටු විය. හමුදාව ඔවුනගේ වීර ක්‍රියාව පසසා සම්මාන සඳහා කල් තබාම නිර්දේශ කර තිබුණද ඇතැමුන්ගෙන් බාධා නොතිබුණාම නොවේ. නමුදු යහපත් උදවිය ද එහි බොහෝ සිටිති.

අවසන යුද හමුදාවට සුවිශේෂී කීර්ති නාමයක්‌ හිමි කර දෙමින්ම, රටේ ප්‍රධාන සේනාවිධායකවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් වෙතින් පසුගිය දින මෙම සොහොයුරෝ දෙදෙනා ජීවිත කාලයේදීම හිමි වන ඉහළම සම්මානය, උපහාරය වන “වීරෝදාර විභූෂණයෙන්” පිදුම් ලැබූහ. එය හමුදා ඉතිහාසයට එක්‌ වූයේ සොහොයුරන් දෙපළක්‌ විසින් ප්‍රථම වරට හිමිකර ගත් වටිනාම, උත්තරීතර වූ උපහාරය, සම්මානය විලසිනි.

යුද්ධයෙන්, රොතු, බුරුතු ගණනේ මිය ගියේ ගමේ තරුණයන්ය. අත – බිඳී ආබාධිත වූවේ ද ගමේ තරුණයන්මය. මේ ගමේ තරුණයන් ඉහළම වීර ක්‍රියාවක්‌ කළ විට ඊට උපහාර පිදීමට වසර නව යක්‌ (09) ගතවීම කනගාටුවට කරුණක්‌ මය. එසේ වූවද එය ලැබීම සතුටට කරුණක්‌මය. මන්ද, සැබෑ රණ විරුවන් යට යන යුගයෙකදි ඔවුන් ” ඉස්‌මතු” කළ හෙයිනි. “වීරකම” හෝ “වීරත්වය” යනු දිනකින් දෙකකින් නිමා වන්නක්‌ නොවේමය. එය සදාතනිකය. දෑස්‌ පියවුණද, පොළවට යට වුණද “වීරයා” වීරයාමය.