පොළක් ගාණේ බඩු විකුණමින් කළ අරගලය අවසානයේ කඩන්න බැරි වාර්තාවක් තියපු ප්‍රා. ලේකම් තාත්තයි, පුතාලයි

6041

නම උඩවත්ත පතිරණගේ පියදාසය. කවුරුත් දන්නේ පියදාස උඩවත්ත කියාය. ප්‍රභූ ලේඛකයෙක්, මානව හිතවාදියෙක් මෙන්ම රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරියෙක් වූ පියදාස උඩවත්තගේ කතාව නවකතාවකටත් වඩා රසවත්ය. ඒ රසවත්කම තවත් වැඩි වන්නේ එක් විරල සිදුවීමක් නිසාය. පරිපාලන නිලධාරියෙක් වූ පියදාස උඩවත්ත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන්නේ මහඔය ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසය. දැන් ඔහුගේ දරුවන් පස්දෙනාගෙන් තිදෙනෙක්ද පරිපාලන නිලධාරීන්ය. එක් පුතෙක් ඉන්දික උඩවත්තය. ඉන්දික උඩවත්ත යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයාය. අනෙක් පුතා චන්දන උඩවත්තය. චන්දන කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්වරයාය. තුන්වැනියා සඳරුවන් උඩවත්තය. සඳරුවන් ලාහුගල ප්‍රාදේශීය ලේකම්ය.

ජීවිතය දිනාගත යුතු දෙයක්ය. පියදාස උඩවත්ත, පරිපාලන සේවයේ නියුතු ප්‍රභූ පවුල නිදර්ශන කොට අපට කියා දෙන්නේ ජීවිතය දිනගත හැකි ආකාරය ගැනය. දුගී පවුලක, ලියන්නට කියන්නට නොදන්නා මවුපියන්ට දාව ඉපිද, අනන්ත දුර්භෝග වලඳමින් තමන් පැමිණි ගමන පියදාස උඩවත්තයන් අපට කියන්නේය. අසූවේ ජූලි වර්ජනයට හසුව ජීවත් වීම සඳහා පොළක් ගාණේ බඩු විකුණමින් කළ අරගලය අවසානයේ ජයග්‍රහණයෙන් නිමා කරගන්නා ආකාරය ගැන ඔහු කියන කතාව රසවත්ය. මේ ඒ කතාවය.

මං උපන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ බුළුගහපිටිය කියන ගමේ. ඒ 1948 පෙබරවාරි 14 වැනිදාය. මං පවුලේ හතරවැනියා. පවුලේ අයියලා දෙන්නයි, අක්කයි, මල්ලිලා දෙන්නයි, නංගිලා දෙන්නයි. අම්මා අලුත්ගෙදර විජේසිංහගේ සෝමාවතී. තාත්තා උඩවත්ත පතිරණගේ ජයසිරි. තාත්තාට රැකියාවක් තිබ්බෙ නෑ. කළේ කුලී වැඩ. අම්මයි තාත්තයි අනුන්ගේ කුඹුරුවල සහ රබර් වතුවල කුලියට වැඩළා. පස්සේ 1954 අග අපි ගල්ඔය ජනපදවලින් ඉඩම් ලැබිලා ගල්ඔය ආවා.

අපි ගල්ඔයට ආවේ ඔක්තෝබර් මාසේ නිසා තුන්වැනි පන්තියට යන්ඩ බැරිවුණා. ගල්ඔයට ආවට කොලනියේ ඉස්කෝල ගොඩනැඟිල්ල විතරයි තිබුණේ. ඒකෙ වැඩ කෙරුණේ නෑ. මට එතකොට අවුරුදු හතක්. අම්මලට තාත්තලාට ඉගෙනීම ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ඒ නිසාම මගේ වැඩිමහල් සහෝදරයන් ඉස්කෝලේ ඇරියේ නෑ.

අවුරුදු එකහමාරක් විතර යනකොට කොලනියේ ඉස්කෝලෙ ඇරියා. ඒක අම්/රජගලතැන්න විද්‍යාලය. මං ඒ ඉස්කෝලෙට ගියා. මුලදී තුනේ පන්තියෙ ඉන්න වයස වුණාට “අ” යන්නවත් හඳුනන්නෙ නෑ. එත් 1965 අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියන කොට මං දක්ෂයෙක්. ගණන්වලට විශිෂ්ට සම්මානයක් ඇතුළුව උසස් පෙළ කරන්න මට විතරයි ඉස්කෝලෙන් සුදුසුකම් තිබුණේ. මම 1966දී අම්පාර මහ විද්‍යාලයට ගියා උසස් පෙළ කරන්න. ඒ ගමන හරිම දුෂ්කරයි. ලං.ග.ම. බසයක් තිබුණා අපේ ගමේ, රජගලතැන්නේ ඉ¼දලා අම්පාරට. ඒක ගියෙ උදේ 5.15ට. මම මහ රෑ අවදිවෙලා අම්මා දෙන කහට තේ එක බීලා උදේ 5.15 බස් එකෙන් අම්පාර විදුහලට ගිහිල්ලා උසස් පෙළ ඉගෙනගත්තා.

උසස් පෙළ ඉගෙන ගන්නකොටම මම රැකියාවක් ගැනත් හිතුවා. ඒ කාලෙ සාමාන්‍ය පෙළ පාස් වුණාම රැකියාවකට සුදුසුයි. මම 1967 තිබුණු මධ්‍ය ලිපිකාර විභාගෙටත් ලිව්වා. ඒ තරග විභාගයෙන් පාස් වුණා. මට ඒ ජයග්‍රහණය එදා රටක් වටින වැඩක්. අම්මට ඊට වැඩියි. මුල්ම පත්වීම 1968.06.01 වැනිදා.

ඒ කාලෙ මගේ පන්තියේ හිටියා ලස්සන ගෑනු ළමයෙක් විමලා කියලා. මම එයත් එක්ක යාළු වෙනවා. මේ ආදරේට ගෙවල්වලින් ගැටලු ආවත් අපි දෙන්නා මගේ පැත්තේ කට්ටියගේ කැමැත්ත ඇතුව කසාද බැන්දා. මේ කාලෙදි මම අපේ මහ ගෙදර ඉඩමේම පැත්තක පුංචි ගෙයක් හැදුවා. ඕකේ පදිංචි වෙලා ඉන්නකොට තමයි 1978 සුළි සුළඟ ආවේ. ඒ සුළි සුළඟ ගැන මතක් වෙනකොට මහා භයානකයි. හුළඟට හසුවෙලා ගේ සහමුලින්ම කැඩිලා තිබුණා. යන්තම් ජීවිත බේරගත්තා.

1980 ජුලි 18 වැනිදා වැඩ වර්ජනේ ආවෙ. මං හිටියේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ. අපේ කාර්යාලයේ හිටපු වැඩ වර්ජනය කරන්න සුදුසුකම් තිබුණු සියලුදෙනා වැඩවර්ජනේ කළා. අපේ නායකයෝ කිව්වා දවසක් දෙකක් යනකොට අපිට පඩි වැඩිකරලා නැවත රැකියාවට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් සිද්ධ වුණේ අපි සේවය හැරගිය අය විදියට සලකලා සේවයෙන් පහ කිරීම. මම පඩියට අමතරව කිසි දෙයක් හම්බ කරපු මිහිහෙක් නොවේ. හාලිඇළ මාසයක් විතර රස්සාව නැතුව ඉන්නකොට මට තේරුණා ආයෙ මේක ලැබෙන්නේ නෑ කියලා. මං මගේ බිරියත් එක්කලා කතා කරලා ආපහු රජගලතැන්නට ආවා. බඩුත් අරගෙන.

ඊට පස්සේ තමයි අපේ නරකම කාලෙ ආවේ. මං ගොවිතැනට බැස්සා. කන්න දෙකක් තිස්සේ කුඹුරු අක්කර දෙකක් විතර වැඩ කෙරුවා. එන්න එන්නම ආදායම අඩුවුණා. ඉන් පස්සේ මම කල්මුණේට ගිහිල්ලා එළවළු ගෙනැල්ලා ඒවා වෙළෙ¼දපොළවල්වල දාලා විකුණුවා. වැඩේ පාඩු වෙන්න ගත්තා. ඊට පස්සේ නියදැල්ලේ මැණික් ගරන්න ගියා. හොරෙන් මැණික් ගරන්න ගිය ඒ ගමනෙදි හිරේ විලංගුවේ නොවැටී බේරුණේ අනූ නවයෙන්.

ඊට පස්සේ තේ කඩයක් කරන්න ගත්තා. ඒ කඩේ මගෙ පොඩි මල්ලිගෙ. මගේ නෝනා දවස තිස්සෙම මහන්සි වෙලා ඉදියප්පන්, වඩේ, පිට්ටු, හැලප වගෙ ඒව හැදුවා. ඒ කාලෙ අපේ වැඩ වර්ජනය කරපු සමහර අය දිවි නහගත්තා. තවත් සමහර අයගේ පවුල්වල කරදර ඇතිවෙලා ගෑනු වෙන මිනිස්සු එක්කලා ගියා. ඒත් මගේ බිරිය වෙනදාට වැඩිය ඒ කාලෙ මට ආදරෙන් ඉඳලා මාව පෝෂණය කෙරුවා.

රජගලතැන්න හන්දියේ හිටියා රාජපක්ෂ කියලා අඳුනන මුදලාලි කෙනෙක්. මම කඩේට ගියහම නිතරම එයා කියනවා. “මහත්තයා කොළඹ ගිහිල්ලා රස්සාව ගැන බලන්ඩ. ඔය කට්ටියකට හෙම රස්සාව ආපහු දුන්නා කියලත් කියන්නෙ” කියලා. මමත් එයාගෙම සල්ලි අරගෙන කොළඹ ගිහිල්ලා දෙගමනක්ම රස්සාව ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඇහුවා. අන්තිමට ගිය වෙලේ කිව්වේ, යැපෙන්නන් හත් දෙනෙක් ඉන්න අයට තමයි දැන් දීගෙන යන්නේ කියලා.

එතකොට අපි පස් දෙනයි පවුලේ හිටියේ. මේ වෙනකොට අම්මයි අපියි ඔක්කොම හය දෙනයි. තාත්තා මියගිහිල්ලයි හිටියේ. දැන් මේ ලැබෙන්න ඉන්න දරුවා ලැබුණට පස්සේ අපි හතක් වෙනවා. අපි ඉවසගෙන, කඩෙත් වැඩ කරගෙන හිටියා. අපට තවත් පුතෙක් ලැබුණා. ඒ හතරවැනි පුතා. දැන් යැපෙන්නෝ ගාණ හරි. මම උහන ගිහිල්ලා උප දිසාපතිතුමා ලව්වා ලියුමක් අස්සන් කරලා කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යැව්වා. මෙන්න අපි දන්නෙම නැතිව නුවරඑළිය කච්චේරියේ සේවයට වාර්තා කරන්න කියලා ලියුම ආවා. මං එහේ ගිහිල්ලා රාජකාරියට වාර්තා කළා. හිතන්ඩත් පුදුමයි. දවස් දෙකක්, තුනක් ඇතුළත මගේ හිඟ වැටුපත් නුවරඑළියේ කච්චේරියේ යාළුවෝ ටික හදලා දුන්නා.

මේ වෙනකොට මට වයස අවුරුදු 36යි. නැවත සේවයට වාර්තා කරලා අවුරුදු පහක් යනකල් උසස් වීමේ විභාගයක් කරන්න දුන්නෙ නෑ. මම අවුරුදු පහක්ම කච්චේරියේ ලිපිකරුවෙක් විදියට වැඩ කෙරුවා. මේ වෙනකොට මම පළමුවැනි පන්තියේ ලිපිකරුවෙක්. ඒ අතරේ ඔන්න ආයෙ ගමනක් ශ්‍රී ලංකා පරිපාලන සේවා (සීමිත) තරග විභාගය ගැසට් කෙරුවා. මගේ බලාපොරොත්තුව පරිපාලන සේවයට යන්නමයි. මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. විභාගෙට ලිව්වා. අන්තිමට මම විභාගය පාස් වුණා. 1991.04.19 වැනිදා මාව පුහුණුවට කැඳවලා තිබුණා. මට මුලින්ම පත් වීම ලැබුණේ මහඔය උපදිසාපති හා ප්‍රාදේශීය ලේකම්වරයා විදියට. මහඔය හිටපු හුඟක් නිලධාරීන් මං කලින් ඉඳලම දැනගෙන හිටියා. ඒ නිසා මට වැඩ කරන්න ලේසි වුණා.

මම මහඔය ප්‍රාදේශීයේ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වෙලා අවුරුදු දෙකක් යනකොට එය අංගසම්පූර්ණ මහ ලේකම් කාර්යාලයක් කෙරුවා. අනතුරුව අම්පාරේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් විදියට අම්පාරට ආවා. 2000 ජනවාරියෙ උහන ප්‍රාදේශීය ලේකම් වුණා. මේ හැම තැනකදිම මං දුප්පතුන්ට හැකි උපරිමයෙන්ම වැඩ කළා. පක්ෂ පාට තරාතිරම බලන්නෙ නැතිව වැඩ කළා. විශ්‍රාම ගියාම මිනිස්සුම මට ඇවිත් කිව්වා ඡන්දෙ ඉල්ලන්න කියලා. මේ දේශපාලනය මට විෂය වෙන කාරණාවක් නොවෙයි. ඒ හින්දා ඒ ගැන කල්පනා කළේවත් නෑ. මිනිස්සු එක්ක බෙදාගත්තු අත්දැකීම් සංගෘහිත කරන්න මං ලේඛන කලාව තෝරා ගත්තා. දැනට මං පොත් 39ක් පළකරලා තියෙනවා.

මට දරුවෝ පස් දෙනයි. පුතාලා හතර දෙනයි. බාලම දුවයි. ඒ අයගේ ඉගෙන ගන්න කටයුතුවලට හුඟාක් උදවු කෙරුවේ මගේ බිරිය. මගේ පුතාලා හතර දෙනාම උපාධිධාරියෝ. දුව විතරක් උපාධියට ඉගෙන ගත්තේ නෑ. ලොකු පුතා අම්පාරේ මහ රෝහලේ වැඩ කරනවා. පුතාලා තුන්දෙනෙක් ප්‍රාදේශීය ලේකම්වරු.

ඔහු කියන්නේ චාම් ලෙස සිනාසෙමිනි. පියදාස උඩවත්තයන්ගේ දෙවැනි පුතා මේ වන විට යටිනුවර ප්‍රාදේශීය ලේකම්ය. ඔහු ඉන්දික උඩවත්තය. “තාත්තාගෙ රස්සාව එක්ක පාසල් ගණනකට මාරු වෙන්න සිද්ධ වුණා. සාමාන්‍ය පෙළ දක්වා මං ඉගෙන ගත්තේ රජගලතැන්න ඉස්කෝලෙ. තාත්තා මහඔය උපදිසාපති වෙනකොට මං උසස් පෙළ ලියනවා. මට පරිපාලන සේවයට එන්න හිතුණෙ තාත්තා මිනිස්සු එක්ක වැඩ කරන විදිය, ඔවුන්ට උදවු කරන විදිය දැකලා. මම ඉන්ජිනේරු උපාධිධාරියෙක්. උපාධිය අරන් වැඩබිම් ඉන්ජිනේරුවෙක් විදියට පෞද්ගලික ආයතනයක වැඩ කළා. පරිපාලන සේවා විභාගයට ලිව්වේ 2003 අවුරුද්දෙ. මගෙ ජීවිතෙ වැඩිම සතුටක් ලබපු දවස තමයි ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට මට වැඩ කරන්න ලැබුණු මොහොත. මේ වන විට උහන හා ගම්පොළ උඩපළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරලා තියෙනවා.” ප්‍රාදේශීය ලේකම් ඉන්දික උඩවත්ත කියන්නේය.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්වරයා වූ චන්දන උඩවත්ත සිය මියුරු මතකය අවදි කළේය.”තාත්තා පරිපාලන විභාගයට මුහුණ දෙන කාලයේ අපූරු වැඩක් කරනවා. තාත්තා ප්‍රශ්න පත්‍රයක් සොයා ගෙන ආවට පස්සේ කොළයක් අරන් තීරු තුනක් ගහලා එක තීරුවක තාත්තා අනුමාන උත්තරය ලියනවා. ඉතිරි තීරු දෙකේ මගෙයි මල්ලිගෙයි පිළිතුරු ලියනවා. ප්‍රශ්න පත්‍රයටම පිළිතුරු ලිව්වට පස්සේ එක එක්කෙනාගේ කීයක් හරිද කියලා බලනවා. මේ ආකාරයෙන් කරපු දේ අපේ හිතට කා වැදුණා. තාත්තා ප්‍රාදේශීය ලේකම් වුණාම කොහොම හරි මටත් වුවමනාව තිබ්බා ප්‍රාදේශීය ලේකම්වරයෙක් වෙන්න.

මම කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවෙ. ඒ කාලෙදිම දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ලෙස රැකියාවක් ලැබුණා. ඒත් පරිපාලන නිලධාරියෙක් වීමේ නොතිත් ආශාවක් තිබුණා. මට හැකිවුණා 2006 වසරේදී මගේ තාත්තා සේවය කළ මහඔයටම ප්‍රාදේශීය ලේකම් වෙලා යන්න. පොඩි කාලේ තාත්තා එක්ක ගිහින් තිබ්බ හුරු පුරුදු තැනට ගිහින් සේවය කරන්න ලැබීම දෛවෝපගත සිද්ධියක්. පස්සේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, සේරුවිල ප්‍රාදේශීය ලේකම් ලෙසත් කටයුතු කළා. 2014 සිට මම කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරනවා. මේ ගමනට තාත්තා වගේම ලොකු අයියා ලක්ෂ්මන් අනුරුද්ධත් නිතරම අපිව උනන්දු කරමින් මඟ පෙන්නුවා.”

පියදාස උඩවත්තයන්ගේ බාල පුත් සඳරුවන් උඩවත්ත ලාහුගල ප්‍රාදේශීය ලේකම්ය.”මම සෞඛ්‍ය ලිපිකරු විභාගයෙන් සමත් වෙලා අම්පාර රෝහලේ රැකියාව කළා. ගුරු විභාගයෙන් නැඟෙනහිර පළමුවැනියාට සමත් වුණා. මම පරිපාලන සේවයට එකතු වෙන්නේ 2012 වසරේදී. එතැන් සිට වසර හතරහමාරක් මම අම්පාර දිස්ත්‍රික් සමෘද්ධි සහකාර කොමසාරිස් ලෙස කටයුතු කළා. මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ තමයි මම ප්‍රාදේශීය ලේකම්වරයෙක් වශයෙන් රාජකාරි ආරම්භ කළේ. මගේ අයියලා දෙන්නයි තාත්තයි වගේම මං දැන් ප්‍රාදේශීය ලේකම්වරයෙක්.”

සඳවරුන් උඩවත්ත ප්‍රාදේශීය ලේකම් ලෙස පත්වීම ලබන්නට පෙර පියදාස උඩවත්ත ප්‍රාදේශීය ලේකම්තුමන් සහ ඔහුගේ පුතුන් වන ඉන්දික සහ චන්දන ප්‍රාදේශීය ලේකම්වරුන් එකවර අම්පාර දිස්ත්‍රික්කයේ පරිපාලන නිලධාරීහු සේ සේවය කළහ. පියා උහන ප්‍රාදේශීය ලේකම්ය. එක් පුතකු මහඔය ප්‍රාදේශීය ලේකම්ය. අනෙක් පුතා අම්පාර සහකාර දිසාපතිවරයාය. ඒ ගමනට සඳරුවන් එක් වන විට පියදාස උඩවත්ත විශ්‍රාම ගොස්ය.

මේ පිය පුතුන් දිගාමඬුල්ලේ පරිපාලන සේවා ඉතිහාසයේ විශිෂ්ට ලකුණක් තබා ඇත්තේය. ඒ මියුරු ලකුණු පසුපස ඇත්තේ ජීවිතයේ අභියෝග දැක නොසැලුණු පියකුගේ හා සංහි¼දක් වී සිය පවුලට රැකවරණය දුන් මවකගේ පැහැසර බලාපොරොත්තුය.