හදවත් පෑස්සූ පළමු දොස්තර

327

මීට හරියටම අඩසිය වසරකට ඉහතදී සඳ ජය ගැනීමට ඇමරිකාවත් සෝවියට් රුසියාවත් අතර තිබූ කරට කර තරගයට පමණක් සමකළ හැකි, තවත් තරගයක් වූයේ හදවත් බද්ධයක් සිදුකරන ලොව පළමුවැන්නා වීමේ තරගය අද මෙන් වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය පමණකුදු නොව සදාචාරාත්මක වටිනාකම් සම්බන්ධයෙන්ද පෘථුල තර්කානුකූල දැනුමක් නොවූ එම අවධියේදී එවැනි ජයග්‍රහණයක් ලැබීම ලෝක ප්‍රජාවට ඓශ්වර්යයක් සේම ආන්දෝලනාත්මක සිදුවීමක්ද විය. තාක්ෂණික හා වෛද්‍ය විද්‍යාත්මක දැනුමේ මදිපාඩු හේතුවෙන් එවැන්නක් කළ නොහැකි බවට තර්ක කළවුන්ට ප්‍රථම හදවත් බද්ධය විස්මයට හේතුවක් මෙන්ම ජීවිත බලාපොරොත්තු දල්වන්නක්ද විය. සැලකිය යුතු පිරිසකට එකල හදවත යනු හුදෙක් තවත් එක් අවයවයක් පමණක් නොව, සර්වබලධාරි දෙවියන්ටම පමණක් අයත් කාර්යයක් වන ජීවිතය ලබාදීම තිරණය කෙරෙන සංකේතයක් විය.

එවැන්නන්ට මෙම සැත්කම සදාචාරාත්මක සම්මතයන් සුණුවිසුණු කරන්නක් විය. එබඳු වාතාවරණයකදී විස්මිත සේම ආන්දෝලනාත්මක ලොව ප්‍රථම හදවත් බද්ධය කරමින් ගෞරවාදරයටත් අපවාදයටත් ලක්වීමේ (අ)වාසනාවට හිමිකම් කිවේ වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ්ය. සැබවින්ම ඔහු විසමකර්මයකු වූයේ වෛද්‍යමය හා සදාචාරාත්මක හේතු මත කරන්නට නොහැකි යැයි සම්මතවූ වික්‍රමයක් කළ නිසාම පමණක් නොවේ. කළු සුදු භේදය පිළිබඳ සම්මතයන් දරුණුවටම ක්‍රියාත්මකවු දකුණු අප්‍රිකාව වැනි රටකදි වර්ගවාදීන්ගේ අපවාදයට ලක් නොවී එවැනි ජයග්‍රහණයක් ලබා නෙල්සන් මැන්ඩලාට පමණක් දෙවැනි දකුණු අප්‍රිකානුවා ලෙස ඉතිහාසගතවූ නිසාය.

ජාත්‍යන්තරවික්‍රමයන්ගේ හිමිකාරයා වීමට කවදත් යත්න දරන ඇමරිකාවට ප්‍රථම හදවත් බද්ධයේ ‍ගෞරවයට හිමිකම් කීමට හැකිවූයේ නැත. ඒ වන විටත් හදවත් බද්ධ තරගයේ පෙරමුණ ගෙන සිටියේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නෝර්මන් ෂම්වේ හා වර්ජිනියා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය රිචඩ් ලෝවර් ය. දශකයක කාලයක සිට ඔවුන් දෙදෙනා සුනඛයන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස හදවත් බද්ධ කිරීමට ‘ෂම්වේ-ලෝවර්‘ යනුවෙන් ක්‍රමවේදයක්ද නිර්මාණය කොට තිබුණි. නමුත් මිනිස් හදවත් බද්ධයක් කිරීමට සුදුසු පසුබිමක් ඒ වන විටත් සකස්ව තිබුණේ නැත. ඇතැම්විට එකල සමාජය වෙළාගෙන පැවති සමාජ සම්මතයන් එවැන්නකට ඔවුන්ට හරස්වුවා විය හැක. අභියෝග ජයගැනීමේ අධිශ්ඨානයත්, ඒ තුළින් නිසඟයෙන්ම හිමිවන ජනප්‍රියත්වයේ කිරුළ හා ඒ සමඟ බැඳි සෙසු ආටෝපයන්ටත් පෙම් බැඳි වෛද්‍ය ක්‍රිස්ටියන් නීත්ලින් බර්නාඩ් පෙරට එන්නේ එවන් වාතාවරණයකදී ය. ඇමරිකානු වෛද්‍යවරුන්ට නොමැති වූ ආවේගශීලීත්වයත්, අවධානමට මුහුණදිමේ සාහසික එඩිතරකමත් වෛද්‍ය බර්නාඩ්ට උරුමවූයේ ඔහුගේ දකුණු අප්‍රිකානු සම්භවයෙන් හා පවුල් පසුබිමෙනි.

අඟහිඟකම්වලින් බැටකෑ දරුවන් සිව්දෙනකුගෙන් යුතු පවුලක ඉපිද, පාවහන් නොපැලඳි දෙපයින් දිනපතා සැතපුමක් දුර පාසලට දිවු බර්නාඩ් හැමදාමත් පන්තියේ පළමුවැනියා විය. සිත ඇත්නම් ඕනෑ දෙයක් කළහැකි බව කියමින් ඔහු දිරිගැන්වූයේ ඔහුගේ මවයි. මිට වසර පනහකට පෙරදි එනම් 1967 දෙසැම්බර් 03දා වෛද්‍ය බර්නාඩ් ඔහුට ඇවැසි දේ එලෙස නිර්භයව සිදුකළේද කිසිවකු හෝ පුර්ව අවසරය පැතීමකින් තොරවයි. එපමණක්ද නොව ඔහු එලෙස ලොව ප්‍රථම හදවත් බද්ධය සිදුකළේ රෝහල් අධිකාරිත්වයේ පුර්ව අවසරයකින් පවා තොරව බවත්, සැත්කම සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළේ එය නිමාවීමෙන් පසුව බවත් ලොවටම හඬඟා කීමට තරම් ඔහු මුඛරි විය. දකුණු අප්‍රිකාවේම මිස එවැන්නක් ලොව අන් කිසිඳු රටකදී හෝ සිදුවිය හැකි බව ඔහු විශ්වාස කළේ ද නැත. එය එලෙස සිදුවීමට බර්නාඩ්ට සහජයෙන්ම උරුම වූ වාසනාවද තිබිණි.

ඇමරිකානු වෛද්‍යවරුන් හා කරට කර නොසිටියත් 1967 වන විට වෛද්‍ය බර්නාඩ් සතුවද හදවත් බද්ධකිරීමට පුහුණුව ලත් වෛද්‍ය කණ්ඩායමක් සිටියේ ය. එම වසරේ නොවැම්බර් මාසය වන විට ඔහුට ඒ සඳහා සුදුසු ග්‍රාහකයකු සොයාගැනීමටද හැකිව තිබිණි. ඒ තෙවරක් හදවත් අකරණියන්ට ලක්ව මරණය අපේක්ෂාවෙන් සිටි පනස්හතර හැවිරිදි ලුයිස් වැෂ්කැන්ස්කිය. සැත්කම සාර්ථකවීමක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි වුවත්,හදවත් බද්ධයකින් තොරවද ඔහුට ජිවත් වීමේ හැකියාවක් තිබුණේ නැත. දෛවයේ නියමය පරිදි ඊට මසකට පසු සුදුසු දායක හදවතක්ද වෛද්‍ය බර්නාඩ්ට හමු විය. ඒ හදිසි මාර්ග අනතුරකින් මොළය මියගිය විසිපස් හැවිරිදි තරුණියක වූ ඩෙනිස් ඩාර්වල්ගෙනි. අනතුරින් සිය බිරියත් දියණියත් අහිමි වූ ඩෙනිස්ගේ පියාගේ එකම ඉල්ලීම වූයේ සිය දියණියගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි නම් මෙම රෝගියාගේ හෝ ජීවිතය ගලවා ගත යුතු බවය. නමුත් කවදත් අභියෝග තඹ සතයකට මායිම් නොකළ වෛද්‍ය බර්නාඩ් හමුවේ ඉන් අනතුරුව වුයේ ඉහමොළ රත්කරන ආකාරයේ ගැටලුවකි.

දකුණු අප්‍රිකානු නීතින්ට අනුව රෝගියෙකු දායකයකු ලෙස ගණන්ගත හැක්කේ වෛද්‍යවරුන් දෙදෙනකු විසින් ( එක් අයකු අවම වශයෙන් වසර පහකට වැඩි සේවා කාලයක් ඇත්තකු විය යුතුයි. ) ඔහු මියගොස් ඇති බව තහවුරු කළහොත් පමණි. පුද්ගලයා මියගොස් ඇති බව තහවුරු කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ඔවුන් සතුවූයේ නැත. මේ නිසා මාරාන්තික තුවාල ලබා සිටි ඩෙනිස්ගේ හදවත ඉවත් කිරීමට සුදුසුම අවස්ථාව ලෙස ඇගේ මොළය මියගිය මොහොත තෝරා ගැනීමට වෛද්‍ය බර්නාඩ් තීරණය කළේය.

නීත්‍යානුකුලව ඇගේ හදවත ඉවත් කිරීමට අවසර ලැබු පමණින් තවමත් ජීවයෙන් ගැහෙමින් තිබියදී ඉවත් කළ යුතුද නැතහොත් ස්වභාවිකව ස්පන්දනය නතරවූ පසු ඉවත් කළ යුතුද යන්න ඔහු දෙගිඩියාවට පත්කළේය. හදවත ස්පන්දනය වෙමින් තිබියදීම එය දායක සිරුරෙන් ඉවත්කොටගෙන වැෂ්කැන්ස්කිට බද්ධ කිරීමට ලැබිම සැත්කමේ සාර්ථකත්වයට පිටුවහලක් විය හැකි නමුත් සදාචාරාත්මකව එවැන්නක් මීට පෙර කිසිවකුත් කර තිබුණේ නැත. අවසානයේදි ස්වභාවිකව හදවතේ ස්පන්දනය නතරවීමට ඉඩ හැරිමට වෛද්‍ය බර්නාඩ් තීරණය කළේ අපවාදයන්ගෙන් ගැලවීමට ය. කළු ජාතිකයකුගෙන් ගත් හදවතක් සුදු ජාතිකයකුට බද්ධ කිරීමට බර්නාඩ් ප්‍රතික්ෂේප කළේද අපවාදයන්ගෙන් ගැලවීමටයි. නමුත් කෙතරම් පූර්ව ආරක්ෂක පියවර අනුගමනය කළද අපවාද ඔහු සොයා ආවේ සනාතන ලෝක ධර්මතාව ඒ යැයි පසක් කරවමිනුයි.

වෛද්‍ය බර්නාඩ්ගේ සැත්කමට සහාය වීමට සාමාජිකයින් තිස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් කේප්ටවුන්හි ‘ගෘට් ෂුර්‘ රෝහලේ යාබද ශල්‍යාගාර දෙකක සූදානම්ව සිටියහ. ඒ එක් කණ්ඩායමක් ඩෙනිස්ගේ හදවත ඉවත් කිරීමටයි. අනෙක් කණ්ඩායමේ කාර්ය වූයේ ඉවත්කළ හදවත වැෂ්කැන්ස්කිට බද්ධ කිරීමයි. ඩෙනිස්ගේ සිරුර සම්බන්ධ කොට තිබු ජීවිතාරක්ෂක යන්ත්‍රය ක්‍රියාවිරහිත කොට මිනිත්තු දොළහකට පසු ඇගේ හදවත නිසල විය. ඒ වහාම එය ඇගේ සිරුරින් ඉවත් කරගත් වෛද්‍ය බර්නාඩ් ඊට යාබදව පිහිටි අනෙක් ශල්‍යාගාරයට හරියටම පියවර තිස්එකක් ඇවිද ගියේ පරෙස්සමින් එය දෝතින් රැගෙනය. ඒ වන විට රෝගියාගේ සිරුරේ රුධිර සංසරණය සිදුවෙමින් තිබුණේ හෘත් – පෙනහලු යන්ත්‍රයක් මඟින්ය. ‘ෂම්වේ-ලෝවර්‘ ක්‍රමවේදය අනුව බද්ධය සාර්ථකව සිදුකළද බලාපොරොත්තුවු පරිදි ආගන්තුක සිරුරක් තුලදි හදවතේ රිද්මයානුකූල ස්පන්දනය එක්වරම ආරම්භ වූයේ නැත. ඒ සඳහා තෙවරක් ඊට විද්‍යුත් කම්පන ලබාදීමට වෛද්‍ය බර්නාඩ්ට සිදුවිය. පසුව පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් බර්නාඩ් කියා තිබුණේ හදවත නිසලව පැවති එම කෙටි කාල පරාසය කල්පයක් සේ හැඟුණු බවයි.

අවසානයේදි තවත් අලුත් පුද්ගලයකුට ජීවය දීම සඳහා එය සුමට ලෙස ගැහෙන්නට පටන් ගත්තේය. කර්ණිකා හා කෝෂිකා ක්‍රමානුකූලව සංකෝචනය හා විස්තාරණය වෙමින් අලුත් ශරීරයකට ජීවිතයේ රිද්මය ලබාදීම ආරම්භ කළේය. නව ජීවිතයක් පමණක් නොව වෛද්‍ය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් එම පළමු හදගැස්මෙන් සනිටුහන් විය. වෛද්‍යවරයකු ලෙස ක්‍රිස්ටියන් බර්නාඩ්ව වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක්‍රටිස්ට පමණක් දෙවැනි වූ තලයකට ඔසවා තැබීමට එම කුලුදුල් ස්පන්දනය සමත් විය. අප්‍රකට ජීවිතයක් ගෙවමින් හිඳ එක් රැයකින් ජාත්‍යන්තර කීර්තියට පත්වුවන් සිටින්නේ අතළොස්සකි. වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් ඉන් එක් අයෙකි. සැත්කමෙන් දින දහඅටකට පසු රෝගියා මිය ගියද ඉන් බර්නාඩ්ගේ කීර්තියට පලුද්දක් වූයේ නැත. මන්ද මරණයට හේතුව හදවත නොව නිව්මෝනියාව හේතුවෙන් පෙනහලු අක්‍රීය වීම බව මරණ පරීක්ෂණයේදී තහවුරු වූ නිසාය. බද්ධකළ ආගන්තුක හදවත ග්‍රාහක සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට වැෂ්කැන්ස්කිට ලබාදුන් ප්‍රබල ප්‍රතිශක්තිකරණ මර්දන ඖෂධ, ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඔහුගෙන් උදුරාගෙන තිබිණි. මරණයට හේතුවූයේ එය ය.

ස්වභාවයෙන්ම ජනප්‍රියත්වයටත් කීර්තියටත් මහත්සේ ලොල්වූ වෛද්‍ය බර්නාඩ්ට එය අලුත්ම ජීවිතයක ආරම්භයක් විය. අදටද වෛද්‍ය ඉතිහාසයේ වඩාත්ම ආන්දෝලනාත්මකවූ සැත්කමක් ලෙස සැලකෙන එම ප්‍රථම හදවත් බද්ධයේ පුරෝගාමියා වන වෛද්‍ය බර්නාඩ් කීර්තියත් සමඟ අත්වැල් බැඳ පැමිණ හොඳ සේම නරකද ඉත සිතින් භාර ගත්තේය. ‘මස් කඩකාරයා‘, හා ‘මිනිස් ගිජුලිහිණියා‘ ලෙස පටබැඳි අන්වර්ථ නාමයන්ගෙන් අපහාසයට ලක්වත්දී ජනප්‍රියත්වය සමඟ උරුමවන වගකිම් විරහිත සෙල්ලක්කාර ජීවිතය බර්නාඩ්ටද අරුමයක් නොවීය. ලෝක නායකයින්, හොලිවුඩ් තාරකාවන්, මාධ්‍යවේදීන් හා මහජනතාව වෙතින් ලද ඉච්ඡා සහගත ප්‍රශංසාවන්ගෙන් බර්නාඩ් අසිමිත විනෝදයක් ලැබීය. ඒ අතරම ජනප්‍රියත්වය සමඟ එන ස්ත්‍රී ඇසුර ප්‍රතික්ෂේප කිරීමටද ඔහුට ශක්තියක් වූයේ නැත. ඔහුගේ විසිඑක් වසරක විවාහ ජීවිතය බිඳ වැටුණේද ඉවක් බවක් නොමැතිව යොමුවූ එබඳු අයථා සම්බන්ධයන් හේතුවෙනි. ඉන්පසුව තවත් තෙවරක් විවාහවූ වෛද්‍ය බර්නාඩ්ගේ නම එකල සුපිරි හොලිවුඩ් තාරකාවන් වූ සොෆියා ලොරේන් හා ග්‍රේස් කෙලී සමඟද නොයෙක්වර ඈඳිනි. වරක් ප්‍රංශයේ සුප්‍රකට ‘පැරිස් මැච්‘ සඟරාව වෛද්‍ය බර්නාඩ්ව හඳුන්වා දී තිබුණේ ලොව අංක එකේ අනංගයන් සිව්දෙනාගෙන් අයකු ලෙසයි. තමා ‘ලිංගිකත්වයට මුල්තැන දෙන්නකු‘ ලෙස ප්‍රසිද්ධියේම පාපොච්ඡාරණය කළ වෛද්‍ය බර්නාඩ්ගේ කීර්තිනාමය පලුදු වීමට හේතුවූයේද එම දුර්වලතාවයයි.

අවුරුදු හැත්තෑඅටක් ආයු වළඳ 2001 වසරේදී සයිප්‍රසයේදී මියයන කළ වෛද්‍ය බර්නාඩ් පුරෝගාමීත්වය දුන් හදවත් බද්ධකිරීම් ලක්ෂයක් පමණ සාර්ථකව ලොව පුරා සිදුකොට තිබිණි. අද වන විටත් වාර්ෂිකව හදවත් බද්ධකිරීම් තුන්දහස්පන්සියයක් පමණ සාර්ථකව ලොව පුරා සිදු කෙරෙයි. ඒඅතර සැත්කමෙන් පසු රෝගියා වසර දහයක් ජීවත්වීමේ ප්‍රතිශතය 56%කි. ඒ කිසිවක් ජාත්‍යන්තරයේ සිරස්තල මවන්නේ නැත. වසර පනහකට පසු අදටත් එලෙස සිරස්තල මවන්නේ වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් විසින් හාපුරා කියා සිදුකළ එම ආන්දෝලනාත්මක ප්‍රථම හදවත් බද්ධයයි. ඒ දෙවියන් මිස කිසිවකුටත් කළ නොහැකි බවට ශපථකොට තිබු සැත්කමකට අතගැසීමට තරම් එඩිතරවූ එකම මිනිසා වෛද්‍ය ක්‍රිස්ටියන් බර්නාඩ් වූ බැවිනි.

රුක්ලන්ති පෙරේරා