මිනිස් මොළයට සියුම් චිපයක් බද්ධ කරලා සුපිරි මිනිසකු හදන උත්සාහයක්

658

කෙනකුගේ මොළයට සියුම් චිපයක් බද්ධ කිරීමෙන් මොළයේ ස්වාභාවික ක්‍රියාකාරිත්වය නතර කළ හැකිය යනුවෙන් දැක්වෙන්නේ නවතම විද්‍යා ප්‍රබන්ධයක එන කල්පිතයකැයි කෙනකුට හැඟෙන්නට පිළිවන. එහෙත් එවැනි උපකරණයක් නිපදවීම සම්බන්ධයෙන් දැනටද අත්හදාබැලීම් කර කරගෙන යන විශේෂඥ බ්‍රයන් ජොන්සන් කියන පරිදි වසර 15ක කාලය තුළ එය යථාර්ථයක් බවට පත් වනු ඇත. ඉදිරි කාලයේදී මෙම චිප් මිලදී ගන්නට පවා ජනතාවට හැකි වනු ඇතැයිද ඒ නිසාම එය ජංගම දුරකතන මෙන් පුළුල් භාවිතයට පත් වනු ඇතැයිද ජොන්සන් ප්‍රකාශ කරයි.

කර්නල් නමැති ආයතනය දැන් මිනිස් මොළයට බද්ධ කළ හැකි උපකරණයක මූලාකෘතිය, රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන අපස්මාර රෝගීන් විෂයෙහි අත්හදා බලන අතර තමන්ට එයින් මේ වන විට ලැබී තිබෙන මූලික ප්‍රතිඵල ඉතා හොඳ යැයි යීස්පෙක්ට්‍රන් පුවත් සේවයට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය බර්ගර් ප්‍රකාශ කළේය. එහෙත් නිරෝගී පුද්ගලයන් සඳහා මෙවැනි චිපයක් නිෂ්පාදනය කරන්නට කලින් මානසික ශක්තිය දුර්වල කරන අල්ශීමර් වැනි රෝගයකට ගොදුරුව සිටින පුද්ගලයන්ගේ මානසික ශක්තිය වර්ධනය කරන චිපයක් නිපදවීමට කර්නල් ආයතනය බලාපොරොත්තු වෙයි.

මෙවැන්නක් නිපදවීම සඳහා කර්නල් ආයතනයේ අවධානය යොමු වී ඇත්තේ කෙනකුගේ නැති වුණු මතක ශක්තිය යළි ඇති කිරීම අරමුණු කරගෙන බවත් මෙවැනි චිපයකින් අපේක්ෂා කැරෙන්නේ කෙනකුගේ මස්තිෂ්ක කෝෂිකා පත්ලේ ස්නායු යළි පණ ගැන්වීම බවත් මේ සම්බන්ධයෙන් “නිව් සයන්ටිස්ට්” සඟරාවට ප්‍රකාශයක් කළ බ්‍රයන් ජොන්ස්ටන් සඳහන් කළේය. සිය මතක ශක්තිය දුර්වල වී සිටින්නන් පළමුවැනි සුපිරි මිනිසුන් බවට මේ මඟින් පත්වනු ඇතැයිද ඔහු පැවැසීය. මස්තිෂ්ක චිපයක් නිර්මාණය කිරීමේ ආකල්පයට මුලපිරූ කර්නල් ආයතනයේ නිර්මාතෘද ජොන්ස්ටන්ය. මෙවැන්නක් මඟින් කෙනකුට ඔහුගේ මොළයේ පූර්ණ විභව්‍යතාව හෙවත් ක්‍රියාකාරි ශක්තිය විවෘත කර ගැනීමට හැකි වුවහොත් එය මිනිසකුට ලැබිය හැකි විශිෂ්ටතම ජයග්‍රහණය බවට ජොන්ස්ටන් ලිස්බන්හි නොබෝදා වෙබ් අඩවි පිළිබඳ සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.

සර්ව සම්පූර්ණ ස්මෘති ශක්තියක් උපදවා ගැනීමට මට හැකි වේද? මගේ මතකයෙහි රැඳී තිබෙන දේ සහමුලින්ම බැහැර කර ගැනීමට මට හැකි වේද? උගෙනීමට මට තිබෙන ශක්තියේ අනුපාතය වර්ධනය කර ගැනීමට මට හැකි වේද? මොළයෙන් මොළයට සන්නිවේදනයෙහි යෙදීමට අපට හැකි වේද? යනාදී වශයෙන් කවරම ප්‍රශ්නයක් වුවද මොළය වෙත ඉදිරිපත් කළ හැකි වන අන්දමේ ප්‍රබල උපකරණ කට්ටලයක් මොළය සඳහා නිර්මාණය කර ගැනීමට ඉදිරි අවුරුදු 15-20 කාලය තුළ තමන්ට හැකි වනු ඇතැයිද ජොන්ස්ටන් විශ්වාසය පළ කළේය.

1800 ගණන්වල බටහිර ඇමෙරිකාවෙහි සිටි ගොපල්ලකු වීම කෙබඳු අත්දැකීමක්දැයි දැන ගැනීමට කෙනකුට අවශ්‍ය වී යැයිද එමෙන්ම ඔහු එය සිතින් මවාගෙන ඒ අත්දැකීම මානසිකව විඳගන්නේ යැයිද සිතන්න. ඒ අත්දැකීම ඔහුගෙන් ඉල්ලා ගැනීමට හෝ ඔහුගෙන් මිලට ගැනීමට හෝ මට පුළුවනැයි මා ප්‍රකාශ කළහොත් එය හුදෙක් සිතිවිල්ලක්ම පමණකැයිද යම් හෙයකින් එවැනි ශක්තියක් සහිත උපකරණයක් නිෂ්පාදනය වුවහොත් එය මහා ධනවතුනටම පමණක් හිමි කරගත හැකි වස්තුවක් වනු ඇතැයිද ඔබ සිතනු ඇත. එසේ සඳහන් කරන ජොන්ස්ටන් ඒ සමඟම ප්‍රකාශ කරන්නේ නවතම ආකල්පය අනුව නිෂ්පාදනය කැරෙන මස්තිෂ්ක චිපය ධනවතුනටම සීමා වන්නක් නොව ස්මාර්ට් ෆෝනයක් මෙන් ජනගත වන්නක් බවය.

මෙවැන්නක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීම පමණට වැඩි දෙයක්ද අවශ්‍යතාවක්ද යන්න බරපතළම ප්‍රශ්නය බවට පත්ව තිබෙන බවත් සඳහන් කරන ජොන්ස්ටන් මේ නිසා අපට අහිමි වන්නක් ගැන බිය වීමට කිසිදු හේතුවක් නැතැයිද ප්‍රකාශ කරයි. “අපි කරන හැම දේකම ආරම්භය අපගේ මොළය වන හෙයින් මේ චිපයද අපූර්ව නිර්මාණයක් වනු ඇත.” ජොන්ස්ටන් අවසාන වශයෙන් පැවැසීය.