දේශපාලන

ජේ.ආර් ගෙන් ණයට සල්ලි ඉල්ලගෙන බීලා අවසානයේ ජේ.ආර් ටම කරපු දේ ……

1970 මැයි මස 27 වැනිදා පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීධුර 116 ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාගත්තේ ශ්‍රී.ල.නි.පය සහ ල.ස.ස.ප සහ කො.ප යන පක්ෂ තුනෙන් සමන්විත සමගි පෙරමුණ සන්ධානය විසිනි. එම සමගි පෙරමුණු සන්ධානය එවක පැවති පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවාගනිත්දී එ.ජා.ප හිමිවුයේ මන්ත්‍රීධුර 17 ක් පමණි.
එවක හිටපු මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකුද වූ ආචාර්ය දී.මු ජයරත්න මහතා සමග සාකච්ඡාවකදී මෙසේ පවසන ලදී.

එවක ගාළුමුවදොර අභියස පැවති පාර්ලි‌‌මේන්තුවේ රැස්වීම් ආරම්භ වූ යේ හවස 2.00 ටය ඇතැම්විට මැදියම් රැය පසුවන තුරුත් සභා රැස්වීම් පැවැත්වුනි. එවැනි දින වල පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්‌ සදහා රාත්‍රී ආහාරය රාත්‍රී 7.00ට පමණ සූදානම් කෙරුණේය. එලෙස රාත්‍රී 8.00 පමණ වනතුරු පාර්ලි‌‌මේන්තු භෝජනාගාරයෙන් බත් සහ මාළු පිනි සැපයුනද ඉන් අනතුරුව ලබාගත හැකිවූයේ කෙටි කෑම වර්ග සහ තේ කොපි වැනි උණුසුම් උණුසුම් පානයන් පමණි. ඒ අනුව රාත්‍රී කාලයේ පැවත්වෙන රැස්වීම්වලට සහභාගීවීම සදහා තරමක් ප්‍රමාදවී පැමිණෙන මන්ත්‍රීවරුන්‌ට අකමැත්තෙන් හෝ කට්ලට් , පැටිස් වැනි කෙටි කෑමකින් සෑහීමකට පත්වීමට සිදුව තිබිණි.
එවැනි දිනවල ඔවුන් වැඩිදෙනෙක් පුරුදුව සිටියේ මහා රෑ කොටුව පැත්තට ගොස් වික්ටෝරියා හෝටලයෙන් හීනියට අඩියක් ගසා බිත්තර ආප්ප හෝ බුරියානි වලින් සප්පායම් වී ආපසු පැමිණීමයි.

දිමු පමණක් නොව රත්නපුර නන්ද එල්ලාවල කැකිරාවේ ඒ . ඇම් . ජිනදාස, තිස්සමහාරාමයේ ටෙනිසන් එදිරිසූරිය වැනි නවක මන්ත්‍රීවරු කීපදෙනෙකුම ඒ කණ්ඩායමට අයත් වුයේ ඔවුන් බොහෝවිට තරම්ක් ප්‍රමාදවී පාර්ලි‌‌මේන්තුවට පැමිණීමට පුරුදුවී සිටි බැවිනි.
එත් සමහර දවස්වලට අපි තුන් හතර දෙනාගේම අතමිට හිගවෙනවා. එහෙම දවස්වලට අපිට නිතරම පිහිටට එන්නේ ජේ. ආර් ජයවර්ධන මහත්තයා.

දී. මු ජයරත්න මහතා එම අතීතය සිහිපත් කලේ සිනා සෙමිනි.“කොහොමහරි ජේ. ආර් . ලොක්කාගෙන් ගණනක් කපාගමු” කියන ආණ්ඩුපක්ෂයේ මන්තිවරුන් කීපදෙනා කරන්නේ විරුද්ධ පක්ෂයේ ආසන පේලියේ සුවපහසු ලෙස අසුන්ගෙන සිටින ජේ . ආර් ජයවර්ධන මහතා අසලට හෙමින් සීරුවේ කිට්ටු කිරීමයි. එකල එජාප නායක ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තුවේ සිටියද විරුද්ධ පක්ෂයේ නායකත්වය උසුලන ලද්දේ ජේ. ආර් . ජයවර්ධන මහතා විසිනි.

“කොහොමද? සර් සැප සනීප” කාලෙකින් සර් එක්ක කතාකරන්නත් බැරි උනා යි. කියමින් තමන් අසලට පැමිණෙන දිමු ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ කිහිපදෙනා දෙස බලන ජේ. ආර්. ට සිනා පහල වන්නේ ඉබේටමය. දී . මු හෝ නන්ද එල්ලාවල විරුද්ධ පක්ෂයේ නායකයාගෙන් එලෙස සුවදුක් විමසදී සෙසු පිරිස හා..යි, හූ…යි, ගා ඈනුම් යාමද එහිදී අනිවාර්යයෙන් සිදුවන්නකි. ඔවුන් එසේ කරන්නේ තමන් අධික ලෙස කුසගින්නේ ඉන්නා බව ජේ. ආර් ට ඒත්තු ගැන්වීමටය.

එලෙස තරගයට මෙන් ඈනුම් අරිමින් ජේ. ආර් ජයවර්ධන මහතා සමග මදවේලාවක් සතුටු සාමිචියේ යෙදෙන දි.මු. බැරිද සර් හෙට අනිද්දා දෙනකන් රුපියල් සීයක් දෙසීයක් විතර පොඩි ලෝන් එකක් දාගන්න යි අසන්නේ වටපිටාව දෙස මදක් විමසිලිල්ලෙන් බලමිනි.
තමන් ජේ. ආර්. ලොක්කාගෙන් එලෙස මුදල් ඉල්ලා සිටි කිසි දවසක ඔහු එම මුදල් දීමට කිසිසේත්ම පසුබට නොවූ බව හෙතෙම පවසයි කෙලින්ම තම සාක්කුවට අතදමා රුපියල් සීයේ කොළ දෙකක් එලියට ගන්නා විපක්ෂ නායකයා ඔවුන් අතට එම මුදල් ලබාදෙන්නේ “මම නොදන්නවායැ තමුන්නැහැලට තියන අමාරුව ගැන” යි කියමිනි.

“හැබැයි ඉතින් අපි ලෝන් එකක් කියලා ඉල්ලගත්තු මුදල් කවදාවත් ආපසු ජේ. ආර්. මහත්තයට දුන්නු දවසක් නම් මතක නෑ” ඒ වගේම එතුමා ඒ ගැන මතක්කරන්නෙත් නෑ..යි” කියන දිමු ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ තමන් ඇතුළු පිරිස අනන්ත වාරයක් විපක්ෂ නායකයාගෙන් එලෙස මුදල් ඉල්ලා ගෙන ඇතත් තම පක්ෂේයේ ජේෂ්ඨයන්ගෙන් නම් කිසිදිනක මුදල් නයට ඉල්ලා නැති බවය. ආණ්ඩුපක්ෂයේ ජෙෂ්ඨයකුගෙන් මුදල් නයට ඉල්ලා ගනු ලැබුවහොත් ඔවුන් ඒ බව අගමැතිතුමියට කියන බව ඔවුන් දැන සිටීම ඒ සදහා මුල්වූ හේතුවයි .

ඒ කාලයයේ හැටියට රුපියල් දෙසීයක් යනු ලොකුමුදලකි. තමන් සමග සිටි මන්ත්‍රීවරුන්‌ තුන් හතර දෙනා සමග හීනියට අඩියක් ගසා බඩපිරෙන්නට බිත්තර ආප්ප කෑමට එම මුදල හොදටම ප්‍රමාණවත් වූ බව දී මූ ට මතකය. “දවසක් රෑ 9.00 ට විතර විපක්ෂ නායකතුමාගෙන් පොඩි අතමාරුවක් කරගෙන පිටකොටුවට ගිහින් ඇගපතත් ටිකක් රත්කරගෙන බිත්තර අප්පත්කාලා පාර්ලි‌‌මේන්තුවට ආපහු එනකොට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මාව හැම තැනම හොයලා තිබුනා. එතකොටයි මට මතක්වුනේ එදා රෑ මට කතාවක් තිබුණු බව.

කොහොමහරි මගේ ඒ කතාව අතරේ ඊටකලින් තිබුණු ආණ්ඩුවේ ක්‍රියාකලාපය වගේම ඒ කාලයේ රාජ්‍ය ඇමතිවරයා හැටියට හිටපු ජේ. ආර්. ජයවධන මහත්තයටත් සෑහෙන්න පහර ගැහුවා.” යි කියමින් එම සිද්ධිය ආවර්ජනය කරන දීමු ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ ඒ මොහොතේ විපක්ෂ නායකතුමා ද සභාගැබ තුල තමන්ගේ වේගවත් කතාවට සවන් දෙමින් සිටින අයුරු දුටු බවය.

දි. මු. ගේ කතාව අවසන්වූ විගස හුනස්නෙන් නැගී සිටි ජේ. ආර්., ඒ ගරු මන්ත්‍රීතුමාට අපගේ එජාප ආණ්ඩුවට සහ මට පහරගසමින් ඉතාමත් දක්ෂ ලෙස තම කතාව පැවැත්වීමට අවශ්‍ය අමතර ශක්තිය සහ ධෛර්යය ලබාදුන්නේද මා විසින්…. යැයි කියා සිටියේ එම රහස දැන සිටි දි. මු. ඇතුළු මන්ත්‍රීවරුන්‌ දෙතුන් දෙනාගේ මුවගට සිනාවක් නංවමිනි. එසේම ඔහු ඒ කෝන්තර කිසිවක් සිතේ රදවාගෙන නොසිටි බවද හෙතෙම පවසයි .