කැඩිලයි කියල දිරන්න ඇරපු වාහන සුළු මුදලකින් ගොඩදාපු ITN වැඩ්ඩෝ

1426

මේ රටේ රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල නාස්තිය, වියදම ගත් විට එම ආයතන පාඩු ලබන්නට ප්‍රධාන හේතුව එයයි. විශේෂයෙන්ම වාහන අවභාවිතය ඉහළින්ම තිබේ. අනෙක් පැත්තෙන් වාහනයක් කැඩුණත් එය අලුත්වැඩියා කර ගැනීමට හැකියාව පිළිබඳව වගකීමකින් තොරව පැත්තකට දා දිරීමට ඉඩ අරියි. පසුගිය කාලය පුරාවටම මේ ආකාරයට රාජ්‍ය දේපොළ විනාශ වූයේ පොදුජන මුදල් විනාශ කරමිනි. අලුත්වැඩියා කර භාවිත කළ හැකි වාහන ටික කලක් දිරීමට පත්කොට තමන් දන්නා ගැරේජ්වලට දමා ලොකු මුදලක් දී අලුත්වැඩියා කොට අතයට මුදල් ගැනීම්ද ඕනෑ තරම් වාර්තා වෙයි. එසේ නැත්නම් තම හිතවතෙකුට හෝ වෙනත් ලාබ අපේක්‍ෂාවෙන් ඉවතලන අබිලි වාහනයක් සේ සලකා වෙන්දේසි කර ලබාදෙන අවස්ථාද තිබේ.

එහෙත් මේ අවාසනාවන්ත දූෂිත තත්ත්වය වෙනස් කරමින් රටටම ආදර්ශයක් දීමට ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ රියැදුරන් දෙදෙනකුගේ විශිෂ්ට මෙහෙවරක් පිළිබඳ කරුණු අනාවරණය වේ.ඔවුන්ට මේ උදාර දක්‍ෂතාව පෙන්වීමට කාර්මික සහතික තිබී නැත. මේ කාර්යය සාර්ථක කර ගැනීමට ඔවුන් සතුව තිබී ඇත්තේ ආත්ම විශ්වාසය පමණි. එම ආත්ම විශ්වාසය මත ආයතනයේ බලධාරීන්ගේ අවසරයද මත බාර ගත් අභියෝගය අවසන් කිරීමට මේ රියැදුරන් දෙදෙනාට හැකි වී තිබේ.

 

ස්වාධීන රූපවාහිනි සේවයේ රථ වාහන අංශයට ගරාජයක අවශ්‍යතාව තිබී ඇත්තේ සෑහෙන කාලයක සිටය. ඉහළ බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන්නද මොනයම් හේතුවක් මත එය මඟහැරුණි. එහෙත් පසුගිය අගෝස්තු 16 වැනිදා එම ඉල්ලීම සාර්ථක විය. මේ නිසා අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට තමන්ට හැකි යැයි කියා රියැදුරන් වන ඒ.ජී. අනුර කුමාර සහ අයි.පී.බී.සී. වර්ණජිත් ඉදිරිපත් විය. ඒ ටෙන්ඩර් කැඳවා විකිණීමට දමා තිබූ දිරා ගිය බස් රථයක් හා ලොරි රථයක් අලුත්වැඩියා කොට රටේ සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට ආදර්ශයක් දෙමිනි.

ස්වාධීන රූපවාහිනිය සතුව වාහන 48ක් තිබේ. ඉන් 11ක් විකිණීමට තීරණය විය. ඒ ධාවනයට බැරිම තත්ත්වයේ පවතින වාහන අතරින් දෙකක් මෙලෙස ඔවුන් අලුත්වැඩියා කර තිබේ.

මෙලෙස විකිණීමට තිබූ ලොරි රථය අලුත්වැඩියාකොට ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට සමහර ආයතන රුපියල් 409,000ක් ඉල්ලා තිබිණි. මේ වාහනය අලුත්වැඩියා කළ ද කොපමණ කලක් භාවිත කළහැකි දැයි කියා සහතිකයක් දීමටද ඔවුන් අකැමැති විය. එම නිසා ලොරි රථය පැත්තකට දමා තිබිණි. මේ ලොරි රථය අලුත්වැඩියා කර දීමේ වගකීම අනුර සහ වර්ණජිත් භාර ගත්තේය. එය අභියෝගයක් විය.

ආයතනයේ කළමනාකාරීත්වය ඊට එම ඉඩ ලබා දුනි. සමහරු සිටියේ මිතුරන් දෙදෙනා අත පුච්චා ගනීවිද යන සැකයෙනි. එහෙත් ඒ අභියෝගය සාර්ථක ලෙස නිම කිරීමට මේ රියැදුරන් දෙදෙනාට හැකිවිය.

අනුර කුඩා කාලයේ සිට කාර්මික දැනුම සහිතව සිටි අයෙකි. මොහුට ඒ බව ඔප්පු කිරීමට සහතිකයක් නොතිබිණි. වර්ණජිත්ට ජර්මන් ටෙක් ආයතනයේ සහතිකයක් තිබිණි. ගැටලුව වූයේ ඔහු රියැදුරකු වීමය. රජයේ ආයතනයක මේ අභියෝගය ජය ගැනීමට සහතිකය අවශ්‍ය වුවත් එය දෙවැනි වී මොවුන් දෙදෙනාට අවස්ථාව හිමිවිය. ලොරි රථය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට ධාවනය කළ හැකි මට්ටමට ගෙන ඒමට මේ දෙදෙනාම වියදම් කළේ රුපියල් 70,000ටත් අඩු මුදලකි. රුපියල් 409,000ක් ඉල්ලූ කාර්යය සඳහා වියදම් වූයේ රුපියල් 70,000ටත් අඩු මුදලකි.

බස් රථය අලුත්වැඩියා කිරීමට රුපියල් 109,000ක පමණ මුදලක් ඉල්ලා තිබිණි. එය ද නිසි ලෙස ධාවනය කළ හැකි දැයි එම කාර්යය නිම කිරීම ඉල්ලූ ආයතනය පොරොන්දු වූයේ නැත. බස් රථයට අවශ්‍ය සමහර අමතර කොටස් ද වෙළෙඳපොළේ නොමැති බව ද කියැවිණි. අනුර හා වර්ණජිත් දෙදෙනා බස් රථයට අදාළ සියලු දේ අලුතින් සාදවා සාර්ථක ලෙස නිම කිරීමට වියදම් කළේ රුපියල් 1500කට අඩු මුදලකි. රුපියල් 109,000ක් ඉල්ලූ වැඩේට වියදම් වූයේ රුපියල් 1500කට අඩු මුදලකි. මෙම බස් රථයේ දිරුම් තිබී ඇත. එය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වනු ඇතැයි අපේක්‍ෂා විය. එහෙත් බස් රථයේ තීන්ත ආලේප කිරීමට වියදම් වී තිබුණේ රුපියල් 20,000ක් පමණයි.

රටටම ආදර්ශයක් දෙමින් රියැදුරන් දෙදෙනා කළ කාර්යය ඇත්තෙන්ම ප්‍රශංසා කටයුතුය. රාජ්‍ය ආයතනයක් තුළ අභියෝගයක් භාරගෙන එය ඉටු කිරීමට නොහැකි වුවහොත් එයද විවාදපන්නය. එහෙත් මේ අභියෝගය සාර්ථක වීමත් සමඟ ඉතිරි වාහන ද අලුත්වැඩියා කිරීමට ස්වාධීන රූපවාහිනියේ අපේක්‍ෂාවයි.
මේ කාර්යයේදී තිරය පිටුපස සිට අතහිත දුන් අය රැසකි. ඇත්තටම එය තිරය පිටුපස වුවත් එය වගකීමකි. භාරධූර කාර්යයකි. එහිදී ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ චන්දන තිලකරත්න, ප්‍රවෘත්ති – ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ ධනුෂ්ක රාමනායක, ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ විමල් කැටෙපෙ ආරච්චි, සාමාන්‍යාධිකාරි අරුණ විජේසිංහ, සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් ප්‍රවාහන අංශයේ සියලුම සේවක මහතුන්, ඉන්ජිනේරු වැඩ අංශයේ ටින්කරින් සහ තීන්ත ආලේප කිරීම කළ රංජිත් දිසානායක ඇතුළු කාර්ය මණ්ඩලය, මුදල් සහ සැලසුම් අංශයේ නිලධාරීන් මේ කාර්යයේදී දායක වූහ.

මින් පසු ස්වාධීන රූපවාහිනියේ කිසිදු වාහනයක් අලුත්වැඩියාවට පිටතට යවන්නේ නැතැයි අනුර සහ වර්ණජිත් දෙදෙනා කියන්නේ මහත් ආඩම්බරයෙනි. දැන් මොවුන් දෙදෙනාගේ අලුත්ම කාර්යය වන්නේ ධාවනයෙන් ඉවත් කළ මෝටර් රථයක් අලුත්වැඩියා කිරීමයි. මේ කාර්යය සාර්ථක කර ගැනීමට මොවුන් දෙදෙනාම අප්‍රතිහත දිරියකින් කටයුතු කරමින් සිටී.

එසේම ප්‍රවාහන අංශයේ පාලන නිලධාරි ජානක ප්‍රියංකර, සහකාර ප්‍රවාහන නිලධාරි ලලිත් කුමාර සහ සියලුම රියැදුරු මහත්වරුන්ගේද සහාය මේ දෙදෙනාට ලැබී තිබේ. මේ සියලු සහාය මැද්දේ භාරගත් අභියෝග සාර්ථක කිරීම තමන්ට සතුටු යැයි අනුර සහ වර්ණජිත් අපට කීවේ මහත් සතුටිනි.

සටහන – ප්‍රගීත් සම්පත් ,ඡායාරූප – සසඳ ලියනආරච්චි