දේශීය පුවත්

ගැටුම් ඇති වෙන්න හේතුව මෙන්න , ගිංතොට දැන් සන්සුන් – ඇදිරි නිතිය ඉවත් වේ ,19ක් අත්අඩංගුවට

ගිංතොට පැවති නොසන්සුන්කාරී තත්වය තත්වය මේ වන විට පහව ගොස් ඇති නමුත්, එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.

Loading...

අද (18) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මකවේ.

කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

දැනට දින 2 කට පමණ පෙර මෝටර් සයිකලයක ගමන් ගත් සිංහල තරුණයින් දෙදෙනෙකු අතින් ගිංතොට මුස්ලිම් ගම්මානයකදී මුස්ලිම් කාන්තාවක් අනතුරට පත්වීම නොසන්සුන්කාරී තත්වය හට ගැනීමට මූලික වී තිබේ.

මුස්ලිම් කාන්තාව අනතුරට පත්වීමෙන් පසු මුස්ලිම් පිරිසක් මෙම තරුණයින් දෙදෙනාට හිරිහැර කර ඇත.

Loading...

එසේ සිද්ධිය නිමා වුනත් පෙරදා මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු පාපන්දු තරඟාවලියකට සහභාගි වීමට ගොස් සිටියදී සිංහල තරුණයින් කිහිප දෙනෙකු එම තරුණයින්ට පහර දී තිබේ.

මෙම සිදුවීම දුරදිග ගොස් ඊයේ එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත.

ගාල්ල ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ප්‍රදේශවාසින් සඳහන් කර ඇත.

ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් පොලිසිය පවසයි.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේය.

මෙම සිදුවීම් දඩමීමා කරගනිමින් කටයුතු කිරීමට අන්තවාදී බලවේග උත්සාහ කර ඇති බැවින් ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ තත්වය පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍යජාලා විසින් ඉතාමත් පහත් ආකාරයෙන් ක්‍රියාත්මක වී ජාතීන් අතර ගැටීමක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින බැවින් ඒ පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරීව සිට මනා සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Posts