ලිපි පුවත්

සංගීතය නාමයෙන් කේමදාස මාස්ටර් දෙවතාවක් දිවි නසා ගන්න හදයි

පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබු ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නම් සිසුවා ඉගෙනීමට මෙන්ම බටනලාවට ආදරය කළ රසිකයෙක් විය. පාසලේ ඉගෙනීමට තිබු දස්කම් නිසා ඩබල් ප්‍රමෝෂන් ලැබු මේ සිසුවාට සිත් රිදීමට හේතුවක් තිබුණි. එසේ ඩබල් ප්‍රමෝෂන් ලැබු සිසුන් හතර දෙනාගෙන් ඉහළ පාසලකට මාරු කිරීමට මැද සිට තමා නොතේරී මුලිනුත් අගිනුත් සිසුන් තෝරා ගැනීමයි ඒ. ඒ ඔහුගේ සිත රිදී ඉගෙනීමට තිබු ආසාව ඇල්ම අත හැර බටනලාවටම පෙම් බැඳි පහළොස් හැවිරිදි වියේ දී එනම් 1953 වසරේ ක්‍රමානුකූලව සංගීතය ඉගනීමට සිතුවේය.

Loading...

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියන ලද ගාන්ධර්ව අපදාන 3 කෘතියේ එන පරිදි සංගීතඥ ආර්.ඒ. චන්ද්‍රසේන මරදානේ පවත්වා ගෙන ගිය චන්ද්‍ර සේන සංගීතායනයට තම මව සමග පැමිණි කේමදාස එවකට එහි ශිෂ්‍යයකුව සිටි ධර්මදාස වල් පොල සමග චන්ද්‍රසේනයන් වෙතින් පෙර අපර දිග සංගීතය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තේය.

කේමදාසයන් චන්ද්‍රසේන සංගීතායතනයට බඳවා ගත් ඇතුළත් වීමේ පත්‍රිකාවේ ඡායා පිටපතක් ගාන්ධර්ව අපදාන කෘතියේ පළ වී ඇති අතර, එහි භාරකරු ලෙස කේමදාස මව කේ. ඇලන් පෙරේරාගේ නම ද ලිපිනය ලෙස නො. 603 තල්පිටිය වාද්දුව බවත්, ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 15 ක් බවද සඳහන් කර ඇත. ඉගෙන ගන්නා භාණ්ඩය ලෙස නම් කර තිබුණේ බටනලාවය. වාදනය ඉගෙනීමට රු. 7 යි ශත 50 ක් අය කර තිබු බව එම ලේඛනයේ සඳහන්ව තිබුණි.

කේමදාස එතැන් සිට ස්වෝත්සාහනයෙන් දුෂ්කර ගමනික් ඉදිරියට ගොස් ඇත. ලංකා ගුවන් විදුලි සේවයේ වාදක මණ්ඩලයේ බටනලා වාදකයකු ලෙස ද සහභාගී වී ඇත. ටික කලෙකින් ඔහු සංගීත මංජරී නමින් සංගීත පන්තියක් මරදානේ ආරම්භ කළේය. 1960 වසරේ සුදත් මාසකෝරාළ නම් ලේඛකයා බැරිසිල් නම් ගීත නාටයක් ලියාගෙන කේමදාසයන් සොයා පැමිණියේය.

Loading...

අපි මේකෙන් ගීත නාටකයක් හදමුද? ඔහු කේමදාසයන්ගෙන් අසා ඇත.ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ගීත නාටකය වු බැරිසිල් තුළින් හොඳ ඔපෙරාවක් වගේ කරමු යැයි යෝජනා කර ඇත්තේ කේමදාසයන්ගේ මිතුරෙකු ද දක්ෂ වාදකයකු වු හියුගෝ ජයමහය. කේමදාසට හියුගෝ යෝජනාව හිතට ඇල්ලුවේය. මේ සඳහා කේමදාස විසින් ජෝ අබේවික්‍රම ධර්මදාස වල්පොල එල්.එම්. පෙරේරා, සිරිමතී රසාදරී තෝරා ගත්තේය. හියුගෝ ජයමහ කියන ආකාරයට බැරිසිල් නිසා කේමදාස අනන්ත අප්‍රමාණ දුක් විඳ ඇත. කඩල කකා ප්ලේන් ටී එක දෙකට බෙදා බී මේ දෙදෙනා නාට්‍යය කර ගෙන ගොස් ඇත. බැරිසිල් ප්‍රේක්ෂකයින්ට ඇල්ලුවේ නැතිලු. මොරටුවේ බැරිසිල් පෙන්නනට යන විට හිටියේ පහළොස් දෙනෙකි. නළු නිළියන්ට දෙන්නත් සල්ලි නැතිලු. බටනලා වාදක එම්.ඩබ්ලිව්. පීරිස් මේ තත්ත්වය දැන ගෙදරින් රු. 500 ක් ගෙනත් දී තිබුණි. මේ තත්ත්වය යටතේ ණය වු කේමදාස දිවි නසා ගන්න ගිය අවස්ථාවක් හියුගෝ ජයමහට මතක තිබුණි. 

ඔය කාලේ සංගීත මංජිරියට අල්ලපු තැනක හිටියා මස්කඩකාරයෙක්. මිනිහා පොළියට සල්ලි දෙනවා. කේමදාසට කරන්න දෙයක් නැතිව මිනිහගෙන් පොලියට සල්ලි ගත්තා. ඒ සල්ලි වලින් බැරිසිල් පෙන්වනවා.ඒත් අතින් පාඩුයි. ආයිත් ණයට සල්ලි ගන්නවා. අන්තිමට හිර වුණා. මස්කඩකාරයා ආවා සල්ලි ඉල්ලන්න. කේමදාස මංජරියෙ උඩ තට්තටුව ගිහිල්ලා බිමට පනින්න යන කොට අපි සේරම එකතු වෙලා බේරා ගත්තා .මස්කඩකාරයා කිව්වා සල්ලි එපාය කියලා.පසු කාලෙක තමා එදා කළ උපකාර වලට කේමදාස කෙළෙහි ගුණ සැලකූ බව කියා තිබුණි. මේ සිදුවීම තමා පැවසුවේ කේමදාසයන්ට අපහාස කිරීමට නොව කලාව වෙනුවෙන් මුල් යුගයේ විඳි දුක් වේදනා ගැන කීමට බව කියා තිබුණි. කේමදාසයන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට හඳුන්වා දෙන්නේ ධර්ම ශ්‍රී කල්දේරාය.

ඔහු එවකට ලංකාදීප පත්‍රයේ පාර්ලිමේන්තු වාර්තාකරුවෙකි. ඔහුට පාර්ලිමේන්තු විවාද පත්‍රයට වාර්තා කළ පසු එදිනම රුපියල් 7 යි, ශත 50 ක දීමනාවක් ලැබී ඇත. සුපුරුදු ලෙස එදා හවස කේමදාස කල්දේරා හමුවීමට පැමිණ ඇත. දෙමිතුරෝ තෝස කඩයකින් සප්පායන් වී කොටුවේ කාර්ගිල්ස් සාප්පුවට අසලින් ඇවිද ගෙන යන විට ශාස්ත්‍රකාරයෙක් පළාපල කීමට ඔවුන්ට කතා කර ඇත. හරි හමන් ආර්ථික ශක්තියක් නැති දෙමිතුරෝ විනෝදයට මෙන් ඔහු අසලට ගියහ. 

ශත 10 ක් ඔහු අත තැබීය.මේ මහත්තුරු දෙන්නා, වැඩි කල් යන්න ඉස්සර වෙලා තට්ටු දෙකක ගෙවල් හදනවා. බෙන්ස් වගේ කාර් වල යනවා.කේප්ප කියන්න එපා සහෝදරයා අපිට බස් එකක යන්නවත් වත්කමක් නෑ. බොරු කියන්න එපා. කේමදාස කියා ඇත.එකල ද කේමදාස හා කල්දේරා සමසමාජයේ ක්‍රියාකාරිකයන් වූහ. පසු කලෙක කේමදාසයන් ද කල්දේරා ද චිත්‍රපට ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නංවමින් සංගීත අධ්‍යක්ෂවරයෙක් ද චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වී තට්ටු ගෙවල් දෙකක් සාද සුව පහසු ඇති මෝටර් රථ දෙකක් ගත් බව කල්දේරා සිනාසෙමින් කීය. ඒ දෛවයේ හැටි යයි කී ඔහු ශාස්ත්‍රකාරයා දැන් කොහි දැයි දැන ගැනීමට ආසාවෙන් සිටියේය.කල්දේරා කේමදාසයන්ගේ හැකියාවන් හොඳින් දැන සිටි නිසා 1959 වසරේ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීරට ඔහු හඳුන්වා දුන්නේය.

විමලවීර මාස්ටර් ගේ රොඩී කෙල්ල චිත්‍රපටය පටන් ගෙන තිබුණේය. කල්දේරා විසින් හඳුන්වා දුන් කේමදාසත්, ආතර් යු අමරසේන විසින් හඳුන්වා දුන් ටෝනි රණසිංහත් රොඩී කෙල්ල ට එම චිත්‍රපටය කර අතරතුර සිරිසේන විමලවීර මිය ගියේය. ඉතුරු වුයේ කේමදාස විසින් සංගීතය මෙහෙයව සුජාතා පෙරේරා (අත්තනායක) ගැයු ගීත දෙක පමණි.මේ අතර කේමදාස සංගීත අධ්‍යක්ෂණ ප්‍රථම චිත්‍රපටය වුයේ “සෝබන සිත” ය. 1963 වසරේ කේමදාසයන්ට වු තවත් කටුක අත්දැකීමකින් පසු දෙවන වරටත් සිය දිවි හානි කර ගැනීමට සිතූ ඔහු ජවිලාල් විලේගොඩට (1968 අගෝස්තු 16 දිනමිණ) කියා තිබුණි.

එහි සියලු වැඩ නිම වී ඉතිරිව තිබුණේ පසුබිම් සංගීතය කැවීම පමණි. එක් ප්‍රසිද්ධ චිත්‍රාගාරයක දී මහ රෑ ඒ කාර්යය අරඹන ලදි. කේමදාස පසුබිම් සංගීතය මෙහෙයැවීමට පටන් ගත්තේය. චිත්‍රපටයේ නිෂ්පාදකයාත් අලුත් අධ්‍යක්ෂවරයාත් (වැඩ නිම වෙන විට ඔහු මාරු විය.) ඇතුළු පිරිස රැස් වී සිටිති. ටිකෙන් ටික වාදන පණ ගැන්වී ගෙන එන්නේය. 

සිනමාවට සම්බන්ධ කිසිවකු නිෂ්පාදකයාට ඇසෙන මානයට එයි.මොක්කද මේ එතෙන සිටින කෙනෙකුගෙන් අසයි. බැක්ග්‍රවුන්ඞ් මියුසික් (පසුබිම් සංගීතයට) කරනවා දෙවැන්නා පිළිතුරු දෙයි අපෝ මෙහෙම බැක්ග්‍රවූන්ඞ් මියුසික් නිෂ්පාදකයාට ද ඇසෙන සේ කියා ගෙන ඔහු පියමං කරයි. අනතුරුව තවත් අයෙක් එයි. ඔහු ද යන්නේ චිත්‍රපටයේ සංගීතය හෙළා දකින යමක් මහ හඬින් කීමෙන් පසුවය. එය සංවිධානාත්මකව කරන ලද දෙයක් බව බොහෝ දෙනා දැන සිටියේ නැත. කෙසේ හෝ එදා රෑම වෙනත් සංගීත අධ්‍යක්ෂවරයෙකුට ඒ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සැපයීම පවරන ලදී.මට එදා නම් දිවි නහ ගන්න හිතුණා. මං වැඬේ නරකට කරලා එහෙම වුණා නම් මට දුක නෑ යි ඒ මොහොත මෙනෙහි කරමින් දැන් කේමදාස කියයි. යනුවෙන් ජයවිලාල් ලියා තිබුණි.

සෝබන සිත චිත්‍රපටයේ ඉතුරුව ඇත්තේ කේමදාස විසින් පටිගත කළ ගීත ටික පමණි. කේමදාස මිතුරාට සිදු වු මේ හැම කටුක ඇත්දැකීම් දෙස සානුකම්පාවෙන් බැලු කල්දේරා තම උත්සාහය අත් නෑරීය. එවකට සැලසුම් කර තිබු නන්දිසේන කුරේ නිෂ්පාදන අධ්‍යක්ෂනය කළ සැපත සොයා චිත්‍රපටය (1965) තුළින් කේමදාස සිනමාවට ප්‍රථම වරට හඳුන්වා දීමට මිතුරා සමත් විය. සැනසුම කොතනද? චිත්‍රපටය (1967) චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත් වු දා කේමදාසගේ සංගීත අධ්‍යක්ෂණයට ප්‍රසංශා පිට ප්‍රසංශා ලැබිණ. කේමදාස නැවත උපන්නේ “සැනසුම කොතැනද” තුළිනි. ““දොලොවක් අතර” චිත්‍රපටය ගැන විචාරකයන් ලියු මහාචාර්ය සිරි ගුණසිංහ කියා තිබුණේ සංගීතයේ ප්‍රකාශනයට අවශ්‍ය ආකාරයෙන් භාවිතා කළ චිත්‍රපටය “සැනසුම කොතනද?” චිත්‍රපටය බවය.

කේමදාසයන් කුඩා කළ සිටම වාමාංශික දේශපාලනයෙන් පන්නරය ලැබු චරිතයකි. ඔහු උපන් වාද්දුව අයත්ව තිබුණේ ලෙස්ලි ගුණවර්ධනට පාර්ලිමේන්තු මන්ත්‍රීකම හිමි පානදුරේ ආසනයටය. කාලයක් තිස්සේම කේමදාසයන්ගේ දෙමාපියන් ද වැඩිහිටි සහෝදර සහෝදරියන් ද ඇප කැප වී වැඩ කළේ ද ලෙස්ලිටය. ලෙස්ලි සහෝදරයා වාද්දුවට ආවොත් කෑම කෑවේ කේමදාසයන්ගේ ගෙදරිනි. කොටින්ම වාද්දුව පක්ෂ කාර්යාලය පිහිටියේ තම නිවසේ බව පවුලේ අත බලයා වු කේමදාසයට මතකය. 

1970 මැතිවරණයෙන් පානදුරය දිනු ලෙස්ලි සහෝදරයා ගමනා ගමන ඇමැති ධුරයටත්, ගෙදර නිතමර එන අනිල් මුණසිංහ සහෝදරයා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස පත් වී තිබුණි. දිනක් කේමදාසගේ ඥාති පුත්‍රයන් දෙදෙනෙකු ඔහු සොයා රාජගිරිය නිවසට පැමිණියහ.පුංචි මාමේ ලංගම ඇබෑර්තු තියෙනවා. ලිපිකරුවන්ට බඳවා ගන්නවලු. සුදුසුකම් තියෙන නිසා අපි ලෙස්ලි සහෝදරයාට කියලා බලමුද?උඹලා දන්නවනේ එයාගේ හැටි. උඹලා මැරී ගෙන පෝස්ටර් ගහලා පාර සරසලා වැඩ කළත් එයා වැඩ කරන්නේ නීතියට.නැහැ මාමා ඇවිත් කිව්වොත් වැඩේ හරි යයි.

බෑණාවරුන්ගේ බලවත් ඇවටිල්ල නිසා කේමදාස ඔවුන් සමග ගමනා ගමන අමාත්‍යාංශයට ගියහ.ආ කේමදාස සහෝදරයා එන්න වාඩි වෙන්න. ලෙස්ලි ඇමතිවරයා කීවේය.මට ඉඳ ගන්න වේලාවක් නෑ. රොකෝඩින් එකක් 11 ට තියෙනවා. මේ දෙන්නගේ කරදරේට ආවේ.ඔව් ඔව් මේ දෙන්නා අපට කොච්චර උදව් කළාද. මේ දෙන්නාම ලංගමට ඉල්ලා තියෙනවා. සුදුසුකම් ඔක්කෝම තියෙනවා.ආ ඇත්තද? ඔය දෙන්නාගෙන් එක් කෙනෙකුට මම රස්සාවක් දෙන්නම්. ඇමතිවරයා කීය.අයියාට දෙන්න එයා විවාහ වෙලානේ. බාල සොහොයුරා කීවේය.

ලෙස්ලි ඇමතිවරයා තම අසුනින් නැගිට්ටේය.මට දෙන්න පුළුවන් එක රස්සාවයි. මේ පුටුවේ ඉඳගෙන ඇමතිකම කරන්න. කේමදාසට යකා නැග්ගේය. ඔහු කෝපයෙන් පුතුන් ලෙස බැලුවේය. සහෝදරයා මම දැන් පානදුරයට විතරක් නොවේ. මුළු රටේම ගමනා ගමන ඇමති. අපට උදව් කළ පලියට රක්ෂාවල් දෙන්න බැහැ. තියෙන ඇයඳුම් පත්‍රය ගෙනාවා නම් මට දීලා යන්න. අපි සලකා බලන්නම්.කේමදාසගේ රතු කටුව පැන්නේය. තම ඥාති පුත්‍රයෙකුගේ ඉල්ලුම් පත කීතු කීතු වලට ඉරා ඇමතිවරයාගේ මේසය උඩ තැබුවේය.මම කිව්වනේ මෙයාගේ හැටි? අපි යමු. කී කේමදාස වේගයෙන් වවුල් දොර ඇරගෙන පිටව ගියේය.මේ සිද්ධිය කේමදාසයන් තම සමීප මිතුරන්ට මධු සාද වලදී නොයෙක් වර කීවත් සම සමාජය නම් කිසිදා අත නෑරියේය.කේමදාස ඉක්මණින් කේන්තිකාරයෙකි. එහෙත් සැනෙකින් එය නිවී පපුවේ මනුස්සකම මතුවෙයි. හරියට සෝඩා බෝතලයක් ඇරියා සේය. 

ඔහු දකුණතින් දුන් දේ වම් අත දැන සිටියේ නැත. තම වාද මණ්ඩලය තරම් බැණුම් අසන වාදක මණ්ඩලයක් මුළු ලෝකයේම නැත. එහෙත් කිසියම් වාදකයකුට දුකක් කරදයක් වු විට පිහිටට එන මුල්ම තැනැත්තා ඔහුය.ඔහුටම ආවේණික ගති පැවතුම් කිහිපයක් තිබුණි. කොපමණ වැඩ තිබුණත් ගයත්‍රී හා අනුපමා දියණියන් ඉගෙනුම ලැබු කොළඹ කාන්තා විද්‍යාලයට ගෙන යන්නෙත් නැවත රැගෙන එන්නේ ද ඔහුය. කොපමණ වාරයක් එළියට ගියත් ඒ හැම වාරයකම එහුට ඇඟ සෝද ගත යුතුය. කඩා ගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙන ලිහින් සරමකින් පමණක් සැරසී සිටින ඔහු කඩියකු මෙන් ගෙය පුරා ඇවිදී. වේලාසනින් නිදන ඔහු කුකුලා හැඬලීමටත් කළින අවදිව ගීතයකට තනුවක් හදයි.

හිතවතුන්ට සංග්‍රහ කිරීමට ඔහු තරම් හපනෙක් මා දැක නැත. ප්‍රණීත ආහර වලින් ද ඉස්තරම්ම ස්කොට්ලන්තයේ නිපද වු විවිධ මධු විතින් නිර්ලෝභීව හිවතුන්ට සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටියි. එකල කේමදාසයන්ගේ මුල් තැන ගෙදර සිටි වයෝවෘධ එහෙත් පින්බර මුහුණකට හිමිකම් කී නිරෝගී මොයිසක්කා විසින් රසවත්ව උයන රසමසුවම්වල සුවඳ ගේ පුරා පැතිර යන්නේ එහි පැමිණෙන කාගේත් කුසගින්න අවදි කරමිනි. ඇය ගෙදර එන කාගේත් ආදරයට ගෞරවයට පත් වන වැඩිහිටි කාන්තාවකි.

මොයිසක්කා අද දෙන්නෙක් විතර කෑමට……… කියලා කේමදාසයන් කියන විට හත් අට දෙනෙක් වත් එන බව මොයිසක්කා දැන සිටියාය.මහත්තයට තරම් කුස්සියට ඕනෑ දේ ඉස්තරම් විදියට තෝරා ගන්න ගැහැනියෙකුවත් බැහැ. ගෙදරට බඩු ඔක්කෝම මහත්තයා තමයි ගෙන්නේ. සේරම අරං එනවා. ළුෑණු ගෙඩිය, මිරිස් කරල, කරපිංචා කොළේ, රම්පේ, සේර, කොත්මල්ලි කොළ, එතනින් ගියාම දෙහි අමු මිරිස් ඉඟුරු සුදු ළුෑණු, ඉස්තරම්ම විදිහට ගේන්නේ.

උයන්න නම් මෙලෝ දෙයක් දන්නේ නෑ. දවසක් ජෝ අබේවික්‍රම මහත්තයා මගේ කෑම අගය කරලා මාව ළඟට එන්න කියලා වැඳලා ගියේ. මහත්තයා කුම්බලාවෝ බැඳලා කන්න ආසයි. එක දවසක් කොහේද ගිහිල්ලා එන කොට මම කුම්බලාවෝ බැඳලා තිබුණා. මේක සන්තෝසෙට පොඩි රෝද තුනේ බයිසිකලේ නැගලා සාලේ පදින්න පටන් ගත්තා. පෙරළෙනවා බිම. හරි හිනා යන වැඩ. අපි මහත්තයා නිසා විනෝද වුණා. මට පුංචි අසනීපයක් වුණෙත් ඉක්මනට කාර් එකේ දා ගෙන දොස්තර ගාවට එක්ක යනවා. මගේ ඔළුව අතගාලා “දැන් සනීපද” කියලා අහනවා. මහත්තයාට කේන්ති ගිහින් මට බනිනවා. මමත් බනිනවා. ඊට පස්සේ මහත්තයම මාව මහත්තයා අම්මාට වගේ සැලකුවේ.

හොයාගෙන එනවා. මොයිසක්කා දවසක් කීවාය.“නිධානය” (1971) චිත්‍රපටයේ රෙකෝඩිං කරමින් ඉන්න කොට එයාව හිරබාරයට ගන්න යනවා කියන ආරංචිය ආවා. ඒත් එයා එදා ඉවසීමෙන් වැඬේ නිම කරල ගෙදර ආවේ. පුදුම ඒ චිත්‍රපටයට සම්මාන පිට සම්මාන ලැබුණා යැයි කේමදාස බිරිඳ ලතා කීවාය. 1937 ජනවාරි 15 වෙනිදා උපත ලැබු කේමදාස මාස්ටර් සංගීතය වෙනුවෙන් ආචාර්ය උපාධියක් ලබා 2008 ඔක්තෝම්බර් 24 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

Related Posts