ගොසිප්

කොටහළු මගුල් සාදයේ නැටිල්ලෙන් අයෙක් පරලොව

දැරියක්‌ මල්වරවීම නිමිත්තෙන් පැවති සාදයකදී සංගීතයට නටමින් සිටියදී ඇඟේ හැපීමේ ප්‍රශ්නයක්‌ මත ගල්වලින් හා පොලුවලින් පහරදී 35 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය පවසයි.

Loading...

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වැනිදා මෙසේ මියගොස්‌ ඇත්තේ බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ සුළු සේවකයකු වූ බද්දේවිතානගේ නිශාන්ත ඉන්දික (අවු. 35) නමැත්තාය.

ඉකුත් 17 වැනිදා උඩවෙල අගලවත්තේ සාදයකදී මෙම ගැටුම සිදුවී ඇති අතර කළුතර නාගොඩ රෝහලින් තුවාලකරු ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ ඇත. මෙම මිනීමැරුම සම්බන්ධයෙන් මතුගම පොලිසිය 19 වැනිදා මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබුණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. සැකකරුවන් කීපදෙනකු ප්‍රදේශය අතහැර පළාගොස්‌ ඇතැයිද පොලිසිය පවසයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්ද පද්මලාල් මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

Related Posts