ලිපි පුවත්

හැන්දෑවට අයිස් වැසි – කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා

මේදිනවල පවත්නා අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය යටතේ සන්ධ්‍යා කාලයන් හි ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අයිස් වැසි ද ඇදහැළිය හැකි බව හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ, කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා පවසයි.

අකුණු වැසි සහ ටෝනේඩෝ සඳහා මුල් වන කැටි වැසි වලාකුළු වල කිලෝමීටර් අටක් තරම් වන ඉහළම කොටසේ 95% පමණ අයිස් රැඳී ඇති බවත් මේ දිනවල පවතින තද වැසි තත්ත්වයන් සමඟ එම අයිස් කැට පොළවට පතිතවීමේ හැකියාවක් ඇතැයි ඒ මහතා අවධාරණය කරයි.

විනාඩි 5 -10 අතර කාලයක් තුළ ගිගුරුම් සහිතව ඇද හැලෙන ධාරානිපාත වැසි සමඟ මෙම අයිස් කැට ඇද හැළීම සිදුවිය හැකි බව පවසන ඒ මහතා පස්වරු 02.00 පසු මෙම තත්ත්වය ඇති වීමට වැඩි සම්භාවිතාවක් පවතින බවද කියයි.

ශීත දේශගුණික රටවල මෙසේ අයිස් වැසි ඇද හැළීම කාලගුණික අතවරයක් ලෙස සැලකුණද අප රට වැනි ඝර්ම කලාපීය රටවල එය කාලගුණික අතවරයක් ලෙස නොසැලකෙන අතර ඊට හේතුව පරිසරයේ අධික ශීත දේශගුණයක් නොමැති වීම මත පහළට ඇඳහැලීමේ දී එම අයිස් කැට දිය වී කුඩා කැට හෝ පතුරු බවට පත්වීම යැයි ද ඒ මහතා කියයි.