ගොසිප්

හතර දෙනෙකුට ජීවිතය දෙමින් හදිසි අනතුරකින් මියගිය නලින්ද – සාර්ථක දෙවැනි හදවත් සැත්කමේ අනුවේදනීය පසුබිම් කතාව

පාතහේවාහැට – කපුලියද්ද ගම්මානයේ පදිංචි විසි අට හැවිරිදි නලින්ද බණ්ඩාර පසුගිය 21 දා හාරගම ප්‍රදේශයේ පිහිටි සිය ව්‍යාපාරික ස්ථානය අසලින් තම යතුරුපැදියට නැඟුණේ මේ යන්නේ සිය ජීවිතයේ අවසන් ගමන බව නොදැනය.මහනුවර – බදුල්ල රජ මාවතේ හාරගම ගොවිපොළ අසලට යතුරුපැදියෙන් පැමිණි නලින්ද බණ්ඩාර ඉක්මනින් නිවෙසට යෑමේ චේතනාවෙන් ඉදිරියෙන් ගමන් ගත් වාහන පෙළකට ඉස්සර කිරීමට උත්සාහ දැරීමේදී ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මාරාන්තික අනතුරකට ලක්විය. අනතුරට ලක්වූ නලින්ද බණ්ඩාර ඉක්මනින් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ වෛද්‍යවරු පසුගිය 25දා දක්වා ඔහුට ප්‍රතිකාර ලබාදෙමින් ඔහු ජීවත් කිරීමට දැඩි උත්සාහයක් ගත් අතර අවසානයේ වෛද්‍යවරුන් ඔහුට ජීවත්වීමට වාසනාව නොමැති බව මවුපියන්ට හා ඥාතීන්ට දන්වා ඇත.

Loading...

අවාසනාවන්ත ලෙස නලින්ද බණ්ඩාර මෙලොව හැර ගියත් ඔහුගේ ඉන්ද්‍රියයන් හතරක් වෙනත් රෝගීන් සිවු දෙනකුට දන්දීමේ පුණ්‍යකර්මයකට දායක විය හැකි බව වෛද්‍යවරුන් විසින් ඔහුගේ මවුපියන්ට දැනුම්දීමෙන් පසුව ඔවුන් ඒ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ලංකාවේ දෙවැනි හදවත් බද්ධය සඳහා සිය හදවතද, වකුගඩු දෙක හා අග්න්‍යාශයද දන් දෙමින් නලින්ද බණ්ඩාර සිය දෙනෙත් පියාගත්තේය.මියගිය නලින්දගේ සිරුර පසුගිය 27දා සිය නිවෙසට ගෙන ඒමත් සමඟ ගම්වාසීන් දහස් ගණනක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ ඇත.

මියගිය නලින්ද බණ්ඩාර මහතාගේ පියා වන විශ්‍රාමික පොලිස් පරීක්ෂක එස්. එම්. සෙනෙවිරත්න බණ්ඩා (70) මහතා සිය ආදරණීය පුතු පිළිබඳව අදහස් දක්වමින් මෙලෙස පැවසීය.”පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරලා මම මීට අවුරුදු ‍දොළහකට (12) පමණ උඩදී විශ්‍රාම ගත්තා. මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. පුතාලා හතරදෙනයි දුවලා දෙන්නයි. මියගිය පුතා පවුලේ පස්වැනි දරුවා.මියගිය පුතා ව්‍යාපාරික කටයුතුවල නියැළී සිටිනවා. පසුගිය 21දා තමයි යතුරුපැදියෙන් ගමන් කරද්දී පුතා අනතුරට ලක්වෙලා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේ. පසුගිය 25දා වෙනකම් වෛද්‍යවරු දැඩි උත්සාහයක් ගත්තා පුතාගේ ජීවිතය බේරගන්න.

පසුව වෛද්‍යවරුන් අපට පැවසුවා මොළය මියගිය නිසා පුතා බේරගන්න අමාරු බව. පුතාගේ හදවත හා තවත් ශරීර අවයව වෙනත් රෝගීන්ට දන් දීමට කැමැතිදැයි ඔවුන් අපෙන් විමසුවා. පසුව මම මේ පිළිබඳව පුතාගේ අම්මාටත්, අනෙක් දරුවන්ටත්, ඥාතීන්ටත් දැනුම්දීලා කැමැත්ත ප්‍රකාශ කළා. පුතා මියගියත් දන් දුන්න අවයවවලින් තවත් පිරිසක් ජීවත්වෙනවා කියලා හිතලා අපි දරුවා නැති දුක තුනී කරගන්නවා.”මියගිය නලින්ද බණ්ඩාර මහතා සිය මව වන එස්. එම්. මල්ලිකා සමරකෝන් (60) මහත්මියගෙන් හා පියා වන එස්. එම්. සෙනෙවිරත්න බණ්ඩා (70) මහතා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන්ගෙන් සමුගෙන පසුගිය 28දා කපුලියද්ද පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය.

Related Posts