ගොසිප්

අපරාදෙ කියනන් බැහැ මැසේජ් පන්සියක් විතර එනවා,මගේ රස්සාව කරන්න එපා කියන්න එයාට පුළුවන්ද – චබියා

දෙවැනි ඉනිමේ චබියාව නොහඳුනනා කෙනෙක් නැතිතරම්. නාට්‍ය තරමටම චබියාවත් ජනප්‍රිය වෙලා. ඔහුගේ ඇත්ත නම කණිෂ්ක ප්‍රසාද්. එහෙත් ඒ නම දන්නේ අතළොස්සක් පමණි. හැමෝම ඔහුට කතා කරන්නේ චබියා කියලයි.

මිස්ටර් චබී, කොහොමද ඉතින්?
ගොඩක් හොඳයි. මං දැන් ගොඩක් කාර්යබහුලයි.

චබියා නිසාද?
නැත්නම්. චබියගෙ චරිතය නිරූපණය කරන්න කලින් රිලැක්ස් එකේ මං හිටියෙ. ඩ්‍රීම්ස්ටාර් ඉන්නකාලෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒක එන්න එන්න අඩුවුණා. එහෙම ඉන්නකොටයි මේ චබියව ලැබුණේ.

කොහොමද ඒ ජනප්‍රියත්වය විඳ දරා ගත්තෙ?
පළමුව කියන්න ඕන මම මේවගේ ජනප්‍රියත්වයක් ලබන්න හිතාගෙනමයි හිටියෙ. නමුත් මම හිතුවෙ නැහැ මං රඟපෑ පළමු නාට්‍යයෙන්ම මට මෙවන් වූ ජනප්‍රියත්වයක් ලැබේවි කියලා. මේ වෙලාවෙ මතක් කළ යුතුයි දෙවැනි ඉනිම නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස්, රචක සමන් එදිරිමුණි සහ දෙනුවන් සේනාධිව. ඔවුන් තමයි චබියව හැදුවෙ.

ඇයි ඔබ දෙනුවන්ව මතක් කළේ?
ඒකට විශේෂ හේතුවක් තියෙනවා. චරිතයක් මිනිස්සු අතරේ මතක හිටින විදිහට රඟපාන්න පොඩි පොඩි ට්‍රික්ස් කියලා දුන්නෙ ඔහු. චරිතයකට රංගන ශිල්පියා විසින් එකතු කරගතයුතු දේවල් මොනවද කියනව වග මට ඔහු පහදලා දුන්නා. පිටපතට සීමා නොවී චරිතය මං පෝෂණය කරගත්තෙ දෙනුවන් නිසා. සමන් එදිරිමුණි ලියලා එවන චරිතය ප්‍රාණවත් කරන්නට මට පුළුවන් වුණා. 

චබියා නිතරම කියන වචන සෙට්එක කියන්න බලන්න?
අසික්කිතයි, කුප්පයි, කුජීතයි, තිත්තයි, විලිජැජ්ජයි.

චබියට කොහොමද ක්ෂේත්‍රයේ තිබෙන පිළිගැනීම?
ඉතාම ඉහළයි. මේ ළඟදී සුමති සම්මාන උළෙලට ගියාම ප්‍රවීණයො කිහිපදෙනෙකුම මේ අර චබියා නේද කිය කියා කතා කළා. මං හිතන්නෙ දැන් නොදන්න කෙනෙක් නැහැ වගේ.

ගෝල්ෆේස් ගිහින් චබියා නිසා ටීෂර්ට් එක ඉරාගත්තු සිද්ධිය මතක් කරමු?
ඒක වුණේ දෙරණ සරුංගල් සැණකෙළියදා. මාව දැකලා රසික රසිකාවන් මාව ඇදලා ගත්තා. අඟල් තුනක් විතර ටී ෂර්ට් එක ඉරුණා. මං ඒක ආසම ටී ෂර්ට් එකක්. මොනවා කරන්නද. රසික ආදරයනෙ.

චබියට ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර නොඅඩුව ලැබෙනව ඇති?
අපොයි ඔව්. ඒවායින් අඩුවක් නැහැ. මං ඉන්න ගහගත්ත දර්ශනයක් විකාශය වුණා. එතැන් පටන් කාන්තා ආකර්ෂණය තවත් වැඩිවුණා. චබියෝ මං ඔයාට කැමැතියි කියලා සිය ගාණක් ගැහැනු ළමයි මට මැසේජ් කරන්නටත් පටන්ගත්තා.

දවසට ෆෝන් එකට මැසේජ් කීයක් විතර එනවද?
අපරාදෙ කියනන් බැහැ මැසේජ් පන්සියක් විතර එනවා. පුළුවන් ඒවට රිප්ලයි කරනවා.

ඔබව මුලදි අප හඳුනගත්තෙ ඩ්‍රීම්ස්ටාර් වේදිකාව හරහා. ඒ පිළිබඳ මතක් නොකළොත් ලොකු අඩුවක් වේවි.
මෙහෙමයි. පොඩි කාලෙ ඉඳලා අපේ ගෙදර අයට දැඩි උනන්දුවක් තිබුණා මාව ගායකයකු හරි නළුවකු හරි කරන්න. ඒ අය රංගන ශිල්පීන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ හොය හොයා මාව ඊට යොමු කරන්නට හැදුවා. නමුත් මං ඒවට ගියෙ නැහැ. ඊට වඩා ගායන පැත්තට උනන්දු වුණා. ඒ හැකියාව ඔස්සෙයි මං ඩ්‍රීම්ස්ටාර් හා සම්බන්ධ වන්නෙ. එහි හයවැනි අදියරේ පස්වැනි තැන මං හිමිකර ගත්තා.

එතකොට ඔබට රංගන අවස්ථාව ලැබුණෙ?
මං ගායනයක් ඉදිරිපත් කළේ පොඩි ඇක්ටිං එකකුත් එක්ක. මං කොහොමත් දැනගෙන හිටියා මට රංගන හැකියාවකුත් තියෙනවා කියලා. දවසක් නෙළුම්පොකුණෙ තිබුණ උත්සවයකදී දෙරණ ලක්සිරි වික්‍රමගේ සර් සමඟ රවීන්, කේෂාන් අයියලා යම් කිසි නාට්‍යයක් ගැන කතා කරමින් හිටියා. මං ඔවුනට ළංවෙලා ලක්සිරි සර්ට කිව්වා අනේ සර් මටත් පුළුවන්නම් රඟපාන්න චාන්ස් එකක් දෙන්නකො කියලා. ඔහු මගෙ මූණ බලලා කිව්වා රැවුල කපාගෙන ලැහැස්තිවෙන්නකො කියලා. එතකොට මං රැවුල වවලා හිටියෙ. මං හිතුවෙ එදා මට ඔහු විහිළුවට එහෙම කිව්වා කියලා. ඊට දවස් කිහිපයකට පසුව දෙවැනි ඉනිමේ සහාය අධ්‍යක්ෂ මට කතා කරලා චරිතය ගැන විස්තර කිව්වා. එතකොටයි මං දැනගත්තෙ මට ලක්සිරි සර් ඇත්තටම චාන්ස් එකක් දීලා කියලා.

මේ වන විට ඔබ පෙම්වතෙක්?
ඔව්.

ඇය කැමැතිද ඔබේ කලා කටයුතුවලට?
කැමැති වෙන්න එපායැ. මේක මගෙ රස්සාවනෙ. මං මව්පියන්ට යම් යම් දේ අරන්දෙන්නෙ, ගේ දොර ගැන බලන්නෙ, පාර්ටියක් එහෙම දාන්නෙ මේ රස්සාවෙන් උපයන මුදලින්. මගෙ රස්සාව කරන්න එයාට එපා කියන්න පුළුවන්ද මං අහන්නෙ.

කනිෂ්ක ඉගෙනගත් පාසල සහ ඔබේ ගම්පළාත මතක් කරමු?
මගෙ ගම මෝදර. ඉගෙන ගත්තෙ කොටහේන ශාන්ත බෙනඩික් විදුහලෙන්.

මොනවද ඉදිරි බලාපොරොත්තු?
කලා හැකියාවෙන් ඉදිරියට යාම තමයි.