අවුරුදු 100 යේ උපන් දිනය දා සිදුවූ අරුම පුදුම හමුවීමක්

3496

විශ්‍රාමික පාඨශාලාචාර්යවරියකගේ සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් භික්ෂුන් වහන්සේ 120 නමක් විෂයෙහි සිදුකළ සංඝගත දක්ෂිණාවකදී ඇගේ පාසලේම උගත් සියවසක් දිවි ගෙවූ භික්ෂූන් වහන්සේ නමක්ද සහභාගිවූ අතිදුර්ලභ අවස්ථාවක් පස්යාල වෙදගම ප්‍රදේශයෙන් වාර්තා විය.ශත වර්ෂයක් දිවි ගෙවූ ගාල්ල වලහන්දූව රජමහා විහාරාධිපති කලල්පිටියේ පේමාලෝක නාහිමියන්ගේද සහභාගිත්වය ඇතිව මෙසේ සිය වැනි ජන්ම දිනය සැමරුවේ පස්යාල වෙදගම පදිංචි ශ්‍රියාලතා පතිරත්න මහත්මියයි. ඇය දරුවන් පස්දෙනකුගේ මවකි.

පේමාලෝක නාහිමියන් හා ශ්‍රියාලතා මහත්මිය කුඩා කල පස්යාල විදුහලේ ඉගෙනුම ලබා ඇත්තේ එකම පන්තියේය. පාසල් දිවියෙන් අනතුරුව 1940දී ගුරු පත්වීමක් ලබා ඇති ශ්‍රියාලතා මහත්මිය කිවුලේවාඩිය පාසලේ සේවය කර ඇත. බදුල්ල, මීගහකිවුල, කුරුණෑගල ගොන්නගමුව, මීරිගම හාපිටිගම, ගම්පහ පරාක්‍රම විදුහල, ඇතුළු පාසල් ගණනාවක උගන්වා ඇති ඇය අවසානයේ තමන් අධ්‍යාපනය ලැබූ පස්යාල මහ විදුහලේද සේවය කර ඇත. ඉන්පසු උසස්වීමක් ලැබ ගුරු විද්‍යාලයේ සේවයට ගිය ඇය වසර තිස්තුනක සේවා කාලය අවසානයේ 1973දී විශ්‍රාම ලබා ගෙන තිබේ. 

ශ්‍රියාලතා මහත්මිය විවාහ දිවියට ඇතුළත්ව ඇත්තේ 1944 වසරේදීය. මේ යුවළට පුතුන් දෙදෙනකු හා දියණියන් තිදෙනකි. බාල පුතු හදිසියේ දිවියෙන් සමුගෙන ඇත්තේ ආදරණීය මව හඬවමිනි. ඇයට මුනුපුරු මිනිපිරියන් 14 දෙනෙකි.සැමියා අහිමිවීමෙන් පසු දරුවන් සමඟ දිවි ගෙවන ඇය කියන්නේ වයසේ හැටියට ලෙඩ දුක් පමණක් තමන්ට ඇති බවයි. එමෙන්ම ආගමට දහමට මුල්තැන දී දිවිය පුරා පස් පවෙන් වැළකී කටයුතු කිරීම නිසාත් තමන්ගේ දිවිය මෙතරම් සැපවත් වූ බව ඇගේ අදහසයි.

මස් මාළු ආදියෙන් වැළකී දිවි ගෙවූ තමන්ට දිව්‍යරාජ මණ්ඩලවල පිහිට ආරක්ෂාව ලැබෙන බවද ඇය පැවැසුවාය. ‘ඒ කාලෙ ළමයි ගුරුවරුන්ට සැලකුවා. දැන් ළමයි එහෙම නැහැ. ගුරු ගෞරවය අඩුයි. සමාජ තත්ත්වය එහෙමයි. අද කවුරුත් පවට බය නැහැ’ ඇය කීවේ එදා මෙදාතුර වෙනස පැහැදිලි කරමිනි.

මෙහිදී අනුශාසනාව කළ පස්යාල කලල්පිටිය ධාතුකන්ද රජමහා විහාරාධිපති කලටුවාවේ පඤ්ඤාසාර නාහිමියෝ සියවසක් දිවි ගෙවූ මව වෙනුවෙන් කළ පිංකම අගය කළ අතර මේ වැදගත් අවස්ථාව සඳහා ගුරුතුමියගේ පාසල් මිතුරා වූ පේමාලෝක නාහිමියන්ද සම්බන්ධ කර ගැනීමෙන් දෙදෙනාටම ආශීර්වාද කරන්නට ලැබීම මහත් භාග්‍යයක් වන බවද උන්වහන්සේ පැවැසූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *