ගොසිප්

ලක්ෂ 20කට වඩා වටින මිතුරු කම – යාළුවා අතහරින්න,ජර්මන් ජාතිකයා පොලිසියේදී අඬයි

රුපියල් ලක්‌ෂ 20 ක්‌ වටිනා යුරෝ 500 නෝට්‌ටු 16 ක්‌ සිය හෝටල් කාමරයේදී කිසිවකු විසින් සොරා ගෙන ඇතැයි ජර්මන් ජාතිකයකු පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව පරීක්‌ෂණ පැවැත්වූ අලුත්ගම පොලිසිය 27 හැවිරිදි තරුණයකු සොරාගත් මුදලින් රුපියල් ලක්‌ෂ 6 ක මුදල සමඟ 6 දා සවස අත්අඩංගුවට ගෙන ඇත.

තමන්ගේ මුදල් සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි ලැබුණු තොරතුරු මත පොලිසියට පැමිණි ජර්මන් ජාතිකයා සොරා තම සමීපතම හිතවතා බව හඳුනා ගෙන තිබේ. රු. ලක්‌ෂ 20 ක මුදල අවශ්‍ය නැහැ. පොලිස්‌ පරීක්‌ෂණ නවත්වන්න. හිත මිතුරා නිදහස්‌ කරන්න යෑයි ඔහු ඊයේ (07දා) උදේ අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.

අලුත්ගම පොලිස්‌ වසමේ දැකුම්කළු සංචාරක නිකේතනයක්‌ද මෙම ජර්මන් ජාතිකයාට ඇත. මෙයට වසර තුනකට පමණ පෙර වාද්දුවේ පදිංචි මෙම 27 හැවිරිදි තරුණයා විදේශිකයා සමඟ මිතුදමක්‌ ගොඩනඟා ගෙන සමීප ඇසුරක්‌ පවත්වාගෙන ගොස්‌ ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

විදේශිකයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට මෙම තරුණයාද සමඟ ගොස්‌ ඇති අතර විදේශීය රටවල් කීපයකටද විදේශිකයා මෙම තරුණයා රැගෙන ගොස්‌ ඇත.අගෝස්‌තු මස 22 වැනිදා හා සැප්තැම්බර් මස 6 වැනිදා යන කාලය අතරතුරදී සිය හෝටලයේ තමන් සිටින කාමරයේ තිබූ රුපියල් ලක්‌ෂ 20 ක්‌ වටිනා යුරෝ 500 නෝට්‌ටු 16 ක්‌ සොරාගෙන ගොස්‌ ඇතැයි ජර්මන් ජාතිකයා පොලිසියට පැමිණිලි කර තිබුණි.

මෙම සැකකරු මෙයට වසරකට පෙර විවාහ වී ඇතැයිද මොහුගේ බිරිඳ ගැබිනියක්‌ බවද පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.මෙම සැකකරු සොරාගත් ඉතිරි ලක්‌ෂ 14 ක මුදල සොයා ගැනීමට පරීක්‌ෂණ පැවත්වෙයි. සැකකරු චෝදනාවන්ගෙන් මුදාහරින ලෙස විදේශිකයා පොලිසියට පැමිණ කඳුළු සලන බව පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.