ගොසිප්

සම්මාන පිට සම්මාන ලබා රාජකාරිය දේවකාරියටත් වඩා සලකමින්, හැමෝටම උදව් කරමින් අභිරහස් ලෙස මියගිය තැපැල් ස්ථානාධිපති කාංචන මාලා මහත්මිය

ඇල්පිටිය – කුරුදුගහහැතැම්ම උප තැපැල් කාර්යාලයේ හදිසි ගින්නක්‌ පසුගිය 29 දින 6.30 ට පමණ හටගෙන ඇතැයි ඇල්පිටිය පොලිසියට වාර්තා විය. මෙම ගින්නෙත් ඇලිපිටිය කුරුඳුගහහැතැම්ම තැපැල් කාර්යාලයේ සිටි තැපැල් ස්‌ථානාධිපති පිළිස්‌සුම් තුවාල තබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගෙස්‌ ඇතැයි ඇල්පිටිය පොලිසිය කියා සිටියේය.මෙසේ මියගොස්‌ ඇත්තේ, වයස අවුරුදු 49 ක්‌ පමණ වූ කාංචන මාලා නැමැති ඇල්පිටිය කුරුඳුගහහැතැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Loading...

මෘත ශරීරය මේ වන විට ඇලිපිටිය රෝහලේ තැම්පත්කර තිබූ අතර, ඇයගේ මරණ සම්බන්ධයෙන්, පොලිස්‌ පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. ඇයගේ භූමදානය පසුගිය දින සිදුකෙරිණි. මෙම මරණය සත්තකින්ම අභිරහසකි. අපේ පත්තර විකුණන පුවත්පත් නියෝජිතයා වන ඇය සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ නියෝජිතයක්‌ ලෙස සැමට වාසනාව ලබාදෙන කාන්තාවක්‌ වූවාය. දැනුම ලබාදෙන පොත්පත් විකුණන ඇය දරුවන්ට කුඩා පුස්‌තකාලයක්‌ ද පවත්වාගෙන යන්නට තරම් කාරුණික වූවාය. මේ ඇයගේ කතාන්දරයයි.

තැපැල් ස්‌ථානාධිපතිවරිය මියගියේ සත්තකින්ම ගින්නට ගොදුරු වීමෙන්ද? නැතිනම් මෙය යම් මනුෂ්‍ය ඝාතනයක්‌ද, ස්‌ථානාධිපතිවරිය සියදිවි හානිකර ගත්තේ ද යන්න ආදී වශයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ මේ වන විට සිදු කරන අතර, ඇගේ මරණය සම්බන්ධයෙන් සැකයක්‌ පවතින බැව් ඇල්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ද පවසයි. පොලිස්‌ පරීක්‍ෂණ ද සිදුවෙමින් පවතින්නේ මේ තොරතුරු ඔස්‌සේය.

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාංචනමාලා මහත්මිය පිට පිටම සම්මානයට ප්‍රාත්‍ර වූවාය. වෙනත් නොයෙක්‌ සම්මානයෙන් පිදුම් ලැබීමට ද ඇය සමත් වූවාය.කුරුඳුගහහැතැම්ම තැපැල් ස්‌ථානාධිපතිවරිය නිරතුරුවම තම රාජකාරිය දේවකාරියක්‌ මෙන් සිදු කළාය. එය තම තැපැල් කාර්යාලයේ සිටින සේවක මහත්වරුන්ට ද, නැතහොත් පියුම් මහත්වරුන්ට ද අය නිරතුරුවම නායකත්වය දුන්නාය. නිසි පරිදි රාජකාරිය සිදුකළ නිසාම ඇය සම්මානයට ප්‍රාත්‍ර වූවාය. ඒ මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට ද යම් පාඩමක්‌ උගන්වමින් ඇය සේවය කළාය. රාජ්‍ය සේවය සිදුකරන්නේ මෙන්න මෙහෙමයි යන්න ඇය ප්‍රායෝගිකව ඔප්පු කළාය. ඒ නිසාම ගමෙන් නගරයෙන් පමණක්‌ නොව තම රාජකාරි සිදුකරන තැපැල් දෙපාර්තමෙන්තුවේ ද පැසසුමට ගරුත්වයට ලක්‌ වූවාය.

මේ නිසා ඇය සම්මානයට පත්වන්නට ද ඇයට හැකි වූවාය. අප කාංචන මාලා මහත්මියගේ නිවසට ගිය අවස්‌ථාවේ දී දැකගත හැකි වූයේ සම්මාන සහතික සහිත දැවැන්ත ඇගයීමක්‌ සනිටුහන් කරන කතාන්දරයකි. ඇයට මේ සම්මාන ලැබුනේ තමා සේවය කරන තැපෑලෙනි. මෙයට අමතරව, ජනතාවගේ සම්මානයෙන් ඇය නිරතුරුවම පිදුම් ලැබුවාය. ඇය ජනතාවගේ හදවතේ, නිනනාද වූවාය. ගම්මානයේ ජනතාව පැවසුවේ කාංචනමාලා මහත්මිය අපේ දුකේ දී සැපේදීත් මරණයට මඟුලටද සෑම අවස්‌ථාවකදීම පවුලේ අයෙක්‌ වශයෙන් තමන්ට සහයෝගය දෙන තැනැත්තියක්‌ බව යන්නයි.

Loading...

අප සමඟ අදහස්‌ දැක්‌වූ ගම්වැසියකු වූ කපිල කුමාර මහතා මෙසේ පැවසීය – මම මේ පවුලට සම්බන්ධ කෙනෙක්‌. මම මෙතුමිය සම්බන්ධයෙන් දන්නවා. ඇය තමයි මේ ප්‍රදේශයේම සිටින දිරිය කාන්තාවක්‌ කියලා කියන්න හැකියි. ලොතරුයි අළෙවි නියෝජිතවරියක්‌ වශයෙන් ද මැය කටයුතු කරනවා. මැය තමයි ප්‍රදේශයේ පුවත්පත් අලෙවි නියෝජිතවරිය.මේ සේවාවන් දෙකද සිදුකරන්නේ කාලයක සිටයි. කාංචනමාලා අක්‌කා එදා උදේ 6.15 ට තමයි කාර්යාලයට ගියේ. නමුත් 6.45 පමණ වන විට ඇයට මේ අනතුර සිදුව තියනවා. උදේ 8.30 ට තමයි කාර්යාලයකට යන්නේ රාජ්‍ය නිලධාරීන්. නමුත් ඇය දිනපතාම තම තැපැල් කාර්යාලයට යන්නේ උදේ පාන්දරමයි. මෙයද වැදගත් කටයුත්තක්‌ ලෙසයි අප ගම්වාසින් වශයෙන් සලකන්නේ.

මෙම මරණය අභිරහසක්‌ ලෙසයි අපි දකින්නේ. අපිට මේ මරණය ගැන සැකයි. විස දුමක්‌ ආග්‍රහනය වී මියගියාලු, මෙය ගිනි ගැනීමෙන් සිදුවූ අනතුරක්‌ බව ද කියනවා. අපේ අක්‌කා සියදිවි හානිකර ගත්තා කියලා ද කතාන්දරයක්‌ තියනවා. ඇයට එහෙම කරන්න වුවමනාවක්‌ නෑ. ඇය පරිත්‍යාගශීලි උගත් බුද්ධිමත් වූ කාන්තාවක්‌. ගමට ප්‍රදේශයටම සහයෝගයක්‌ ශක්‌තියක්‌ උපකාර තමයි කරන්නේ. කන්තෝරුවට ආපු ගැමියන්ට නියමිත ආකාරයට සේවය කරනවා. කරගන්න බැරි දේවල් සිදුකර දෙනවා. යම් ලිපිගොනුවක්‌ පත්ත්‍රිකාවක්‌ පුරවන්න බැරි වුණාම යම් ගැමියෙකුට ඇය එය නියමිත පරිදි නිවැරදිවම සිදුකර ඒ කාරිය ඉටු කරනවා. ප්‍රදේශයේ සමාජ සේවාවන් රැසක්‌ද ඇය සිදු කරනවා.

ඇය දරුවන්ට පොත්පත් කියවන්නට හැකි පරිදි තම සේවා ස්‌ථානයේම පිහිටි අයගේම ගොඩනැඟිල්ලක කුඩා පුස්‌තකාලයක්‌ වාගේ ස්‌ථානයක්‌ පවත්වාගෙන යනවා. මේ මගින් තමයි වැඩිහිටියන්ට, දරුවන්ට පොත් පත්තර කියවන්නට හැකි පරිදි එම ස්‌ථානය සකස්‌කර තියනවා. මුදල් ඇති අයෙක්‌ පොත්පත්, පත්තරයක්‌ ගන්නවා. නමුත්, එහෙම මුදල් හදල් නැති අය වෙනුවෙන් නොමිලයේම මේ පුස්‌තකාල සේවාව පවත්වාගෙන යන්නේ දරුවන්ගේ මනස දියුණු කරන්නට, කියවීමේ අගය ඇති කරන්න, දියුනු කරන්න, වැඩිහිටියන්ද ළමා ළපටියෝද නිරතුරුවම මේ ස්‌ථානයේ කියවීමේ කටයුතුවල නිරත වෙනවා. මෙය වැදගත් වූ කටයුත්තක්‌. රටටම ආදාර්යක්‌ වූ දෙයක්‌ වශයෙන් තමයි අප දකින්නේ. වැටුප හා වෙනත් ව්‍යාපාර සිදුකර මුදල් වටේ වැට ගසනවා වෙනුවට ඇය සිදුකරන සේවාව ඉතාම වැඳගත් වෙනවා. අපි මෙය අගය කළ යුතුයි.ඇය තැපැල් දෙපාර්තමේන්තුවෙත් සම්මාන ලබන්නට තරම් අගයීමක්‌ කළ තැනැත්තියක්‌. ඇය තැපැල් දෙපාර්තමේන්තුවෙන් සම්මාන සහතික හා සේවා ඇගයීම්ද ලබා තියනවා. තැපැල් දෙපාර්තමේන්තුවටත් ඇය නැති වූ පාඩුව දැනේවි. මේ තුමිය අපේ ගම් පළාතේ සියලුම දෙනාට සහයෝගය දක්‌වන උදව් උපකාර සිදුකරන තැනැත්තියක්‌.

මියගිය කාංචනමාලා මහිත්මියගේ ස්‌වාමියා වූ ජයනන්ද ද සිල්වා (56) මෙසේ කීය.මියගොස්‌ ඇත්තේ, මාගේ බිරිඳ, අපට දරුවන් දෙදෙනෙක්‌ සිටිනවා. මම සේවය කරන්නේ අම්බලන්ගොඩ නගර සභාවේ අපිට ප්‍රශ්න තිබුනේ නෑ. අපි සතුටින් තමයි ජීවත් වුනේ. දරුවන්ට අම්මා නැති වුණා. මට බිරිඳක්‌ සහකාරියක්‌ නැති වුණා. ගමට ප්‍රදේශයට සමාජ සේවිකාවක්‌ නැති වුණා. තැපැල් දෙපාර්තමේන්තුවට දක්‌ෂ අවංක නිලධාරිනියක්‌ නැති වුණා. පුවත්පත් අළෙවි නියෝජිතවරියක්‌ වශයෙන් ද සංවර්ධන ලොතරැයි අළෙවි නියෝජිතයක්‌ වශයෙන් ද ඇය කටයුතු කළා. අපට දුකයි අපි දෙදෙනා දමා ඇය යන්න ගියා. මේ වගේ දුකක්‌ වෙනත් අයකුට සිදුවන්න එපා කියාල තමයි කියන්න තියෙන්නේ. මගේ බිරිඳ මතු භවේදීත් මට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මේ වන විට පවත්වන ලද පරීක්‍ෂණ අනුව රජයේ රස පරීක්‍ෂණ වාර්ථාව සඳහන් කරන්නේ ශරීරයේ කොටස්‌වල විෂ ශරීර ගත වූවක්‌ බවයි. කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්‍ෂණ අවසන්ව අවසන් තීන්දුවක්‌ ලබාදී නොමැත.

Related Posts